දිස්ත්‍රික්ක 8 ක පවුල් 49000 කට එල්නිනෝ නිසා පීඩාවට .

එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 8 ක පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද (12) උදෑසන නිකුත්කළ නවතම දත්ත වාර්තා මගින් සනාත වෙයි . ඒ අනුව අනුව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36 ක් එල් නිනෝ තත්ත්වයෙන් බලපෑම් ඇති බවත්, පීඩාවට පත් සියළු දෙනාට පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇතිබවත් එම නිවේදනය සඳහන් කරයි .

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36 ක ජීවත්වන පවුල් 43,221කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකු වෙනුවෙන් මේ වනවිට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

මෙලෙස පානීය ජල ගැටලුවට මුහුණදී සිටින්නේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව හා රත්නපුර දිස්ක්‍රික්ක වේ.

ඉන් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කය වන බවත්, එහි පවුල් 13,139කට අයත් පුද්ගලයින් 42,429ක් පීඩාවට පත්ව සිටිනා බවත් එම වාර්තාව පවසයි . එල්නිනෝ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති සියළු දෙනා වෙත පානීය ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරමින් පවතින බව අදාළ වාර්තාවේ සඳහන්ය.