ගුවන් ටිකට්පත් මිල ඉහළ යයි .

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ගුවන් ටිකට්පත් මිල ගණන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් සමාගම් සඳහා ඉන්ධන පිරිවැය කළමනාකරණය කිරීමට සහ අවම කිරීමට සෑම උත්සාහයක්ම දරමින් සිටියද, ගුවන් මගී ටිකට්පත් මිල ඉහළ යාම නොවැළැක්විය හැකි වනු ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පැවසීය .

මෙම ගැටළුව ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවත්, වර්තමානයේ සමස්ත ගෝලීය ගුවන් සේවා කර්මාන්තයටම බලපාන බවත්, මූල්‍ය පීඩනයට අමතරව, විශේෂ ගුවන් ගමන් විධිවිධාන ද සැපයුම් දුෂ්කරතා ඇති කර ඇති බවත්, සමහර ගුවන් ගමන් එක් දිශාවකට පමණක් ක්‍රියාත්මක වන මගී ඉල්ලුම සඳහා පමණක් ක්‍රියාත්මක වන බැවින් ගුවන් යානා හිස්ව ආපසු යාමට සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේය .

කෙසේ වෙතත්, ඉදිරියේදී සිදුවන මිල වැඩිවීම් දැනටමත් වෙන් කරවා ගත් මගීන්ට බලපාන්නේ නැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික විය.

ගෝලීය වෙළඳපොලේ ගුවන් යානා ඉන්ධන මිල වේගයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, මෙම මස ආරම්භයේදී එනම් යුද්ධයට පෙර ඩොලර් 93.57 ක් වූ ගුවන් යානා ඉන්ධන බැරලයක් ඩොලර් 209 දක්වා ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය .