ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශය යුපුන් අබේකෝන් ප්‍රතික්ෂේප කරයි .

මලල ක්‍රිඩකයෙක් ලෙස තව දුරටත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නම් රජයෙන් ඇමෙරිකානු ඩොලර් 300,000 ක මුදලක් ඉල්ලා සිටි බවට නැගෙන චෝදනා ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ප්‍රතික්ෂේප කරයි . යුපුන් අබේකෝන් මේ බව පවසන්නේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් පසුගියදාකරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි .

ඔහු පවසන්නේ එම ඉල්ලීම පෙර පැවති ආණ්ඩු මගින් පොරොන්දු වූ, මෙතෙක් ගෙවා නොමැති හිඟ මුදල් සහ දිගුකාලීන කැපවීම්වලට අදාළ එකක් බවයි. මෙම මුදල 2021 වසර දක්වා දිවෙන හිඟ මුදල් ද ඇතුළුව වසර ගණනාවක් පුරා තමන්ට සහ තමන්ගේ සහායක කණ්ඩායමට ගෙවීමට තිබූ මුදල්වලට අදාළ වන්නක් බව ඔහු සඳහන් කරයි .

“මම ඉදිරියටත් තරග කිරීම සඳහා කොන්දේසියක් ලෙස ඩොලර් 300,000ක් ඉල්ලුවේ නැහැ. එම ඉල්ලීම පදනම් වුණේ කළින් සිටි අමාත්‍යවරුන් විසින් ලබාදුන් පොරොන්දු සහ වසර ගණනාවක් තිස්සේ පැවැති සාකච්ඡා මතයි. මේ සෑම දෙයක්ම ලේඛනගත කරලා තියෙනවා” යනුවෙන් ඔහු පැවසීය.

තමා සිදුකළේ වසර හතරකට වැඩි කාලයක් තිස්සේ විසඳී නොමැති මෙම ගැටලුව විසඳීමට මැදිහත්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීම පමණක් බව යුපුන් පවසයි .