කවුරුත් කතා කරන “Starlink” අන්තර්ජාල සේවාවට ඇණවුම් කළ යුතු Link එක මෙන්න

ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාවයක් වන “Starlink” සේවාව මෙම වසරේ දී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතව තිබෙනවා.

මෙම වේගවත් අන්තර්ජාල සේවාව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වාසීන් ඇණවුම් කළ යුතු සබැදිය (Link) එම ආයතනයේ වෙබ් අඩවියේ දක්වා තිබෙනවා. එම සබැදිය පහත දැක්වෙනවා.

Starlink | Residential

“Starlink” ව්‍යාපෘතිය මේ වන විට ලෝකයේ රටවල් 99කට පමණ ව්‍යාප්තව ඇති අතර මාලදිවයින සහ ඉන්දුනීසියාව වැනි රටවල් ද මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.

මෙම වේගවත් අන්තර්ජාල සේවාව සමග සම්බන්ධ වීම මගින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට හැකි වන බව සඳහන්.

පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ නිළ සංචාරයකට සහභාගී වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා සහ ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් මහතා අතර විශේෂ හමුවක් පැවැත්වුණා.

එහිදී “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර එවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සඳහා මෙම වසර අවසානයේ දී ඊලෝන් මස්ක් මහතා ලංකාවට පැමිණීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය හරහා ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන මෙරටට කැඳවා ගැනීමට අවස්ථාව ලැබෙන අතර එමඟින් මෙරට ආර්ථීක සංවර්ධනයට විශාල දායකත්වයක් සැපයෙනවා.

“Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක වර්ධනයට රුකුලක් වනු ඇති.

එමෙන්ම පාසැල් සිසුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද පහසු ගෙවීමේ ක්‍රම යටතේ මෙම අන්තර්ජාල පහසුකම ලබාදීම පිළිබඳව ද ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.