ඉතාලියේ සිට මෙරටට ගෙන්වන රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය සමග මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.
ඒ ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට, බස්නාහිර පළාත් බුද්ධි අංශයට සහ විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.
අදාළ සැකකරු නුගේගොඩ විජේරාම හන්දියේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 238, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක්, මුදලින් රුපියල් 100,000ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක් හා ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.
මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ඉතාලියේ සිට මෙරටට ගෙන්වා ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මෘදුකාංග ඉංජිනේරු උපාධිය ලැබූවකු බවත් ඔස්ට්‍රේලියාවේ රැකියාවකට යාමට තවත් පාඨමාලාවක් හදාරමින් සිටි පුද්ගලයකු බවත් සඳහන් වනවා.
23 හැවිරිදි සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඒ අනුව අදාළ සැකකරු අද (29) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලීසියට භාරදී තිබෙනවා.
ඉතාලියේ සිට හෑෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන ජාලයේ මහමොළකරු කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.