සෙංකඩගලපුර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර ඊයේ (20) රාත්‍රී වීදි සංචාරය කළේය .
පස්වරු 06.53ට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහ දේවල පෙරහැර සමගින් තෙවන කුඹල් පෙරහැර වීදි සංචාරය අරඹන අතර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් ඉහළට විත් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට සිදුවිය .
දෙවැනි කුඹල් පෙරහැර පෙරේදා (19) වීථි සංචාරය කළ අතර සධාතුක පෙරහැර කරඬුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ජනරාජා ඇතු විසිනි. නාථ දේවාලයේ බස්නායක ඒ.ඩබ්ලියු.එස්.බණ්ඩාරනායක ශ්‍රි දළදා මාලිගාව නියෝජනය කරමින් පෙරහැරේ ගමන් ගත්හ.
වසර 25ක කාලයකට පසු ජනරාජා ඇතු සධාතුක කරඩුව වැඩම කිරීමේ භාග්‍ය හිමිකර ගැනීම මෙවර හිමි වූ විශේෂ අවස්ථාවකි.
දශක ගණනාවක කාලයක් ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක පෙරහැර කරඬුව වැඩම කළ රාජා ඇතු මරණයට පත් වූ පසු එම අඩුව පිරවීම සඳහා එවකට දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව එකල ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මෙම ඇතා ශ්‍රී දළදා මාලිගාවට පූජා කොට තිබේ.
දෙහිවල සත්ව උද්‍යානයේ උපත ලබා අරිෂ්ඨ යන නමින් හැඳින්වෙන මෙම ඇත් පැටවා ජනරාජා ලෙස නම් කිරීම ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීම සිහිපත් කරමින් සිදුවී තිබේ.
අඩි හතක පමණ දිග දළ යුගලයකට හිමිකම් කියන ජනරාජා ඇතුළු තරමක් දඟකාර හස්තියෙකු වූ බැවින් ඇසළ පෙරහර මංගල්‍යයට ඇතා සම්බන්ධ කර ගැනීම සීමා කොට තිබිණි.
නමුත් වයසින් මුහුකුරා යෑමත් සමඟ මේ වන විට යළි ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර රාජකාරී සඳහා ජනරාජා ඇතු සම්බන්ධ කර ගැනීමට අවකාශ හිමිවී තිබේ.