සෑම රාජ්‍ය ආයතනයකටම අදාල නව චක්‍රලේඛයක් .

රාජ්‍ය ආයතනයන් තුළ සිදුවන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථක කර ගැනීම අරමුණු කරගනිමින් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත .

මෙම නව නියෝග ඇතුළත් චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කර ඇති අතර එය එළඹෙන මැයි 31 වනදා සිට බලාත්මක වෙයි .

ඒ අනුව මැයි මස 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම මෙන්ම ඒවා පරිහරණය කිරීම ද සම්පූර්ණයෙන්ම නතර කළ යුතු වෙයි .

මීට අමතරව, මෙලෙස තනි භාවිතය සඳහා පමණක් යොදාගන්නා ප්ලාස්ටික් ද්‍රව්‍ය රාජ්‍ය ආයතන තුළ භාවිතයට ගැනීම වැළැක්වීම වෙනුවෙන්, අදාළ සියලුම ආයතන ප්‍රධානීන් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය පියවර ගත යුතු බව ද එහි අවධාරණය ඇත .

මෙම නව චක්‍රලේඛය මගින් හඳුන්වා දෙන නියෝගවලට අමතරව පසුගිය වසරේ අප්‍රේල් මස 2 වැනිදා නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ අඩංගු නියෝග ද තවදුරටත් ඒ අයුරින්ම ක්‍රියාත්මක වෙයි .

ඒ අනුව, සෑම රාජ්‍ය ආයතනයක්ම “ත්‍රී ආර්” (3R) සංකල්පය, ( අපද්‍රව්‍ය අවම කිරීම, නැවත පරිහරණය සහ ප්‍රතිචක්‍රීකරණය) යට අනුගත වීම අනිවාර්ය වෙයි .