විනිසුරුවරුන්ගේ සේවාකාලය දිර්ඝ කිරීමේ උත්සහය අධිකරණයට අනවශ්‍ය බලපෑම් කිරීමකි.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරමුණු කරගනිමින් යෝජනා වී ඇති කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගෙන නොයන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.

එම සංගමය පෙන්වාදෙන්නේ, මෙරට ඉහළම උසාවිවල සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය සලකා බලමින් සිටින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තම බලවත් කනස්සල්ල පලකර සිටිනා බවයි .

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත්කළ දා සිට අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 ලෙස ස්ථාවරව පවතින බැවින්, එය අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව එම සංගමය පවසයි .

එවැනි සංශෝධනයක් කිරීම මඟින් අධිකරණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීමට රජය දක්වන කැපවීම පළුදු විය හැකි බවත් එම සංගමය පෙන්වා දෙයි . තවද, 2020 වසරේ සිදුකළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉහළ උසාවි දෙකෙහිම විනිසුරුවරුන් සංඛ්‍යාව දැනටමත් සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බවද එම සංගමය පවසයි .

ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල 12 සිට 20 දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 11 සිට 17 දක්වාත් වැඩි කර තිබේ. මෙම සාමාජික සංඛ්‍යාව ඉහළ නැංවීම මඟින් උසාවිවල ධාරිතාව ප්‍රමාණවත් පරිදි ශක්තිමත් වී ඇති බවත්, එනිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා සේවා අවශ්‍යතාවය මත පදනම් වූ කිසිදු අවශ්‍යතාවයක් ඇතැයි තමන් නොසිතන බවත් එම සංගමය පවසයි .