සංචාරක ව්‍යාපාරය නංවාලීමේ පියවරක් ලෙස තවත් රටවල් 40 ක් සඳහා නොමිලේ වීසා පහසුකම ලබා දීමට රජය තීරණය කර ඇත . ඒ අනුව ඊට අදාල ආගමන හා විගමන පනත යටතේ රෙගුලාසි සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊයේ හිමිව ඇත .
නව සංශෝධනවලට අනුව එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඔස්ට්‍රියාව, බෙලරුස්, බෙල්ජියම, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ, පෝලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, බහරේන්, ඉරානය, ඊශ්‍රායලය, කසකස්තානය, කුවේට්, නේපාලය, ඕමානය, පකිස්ථානය, කටාර්, සෞදි අරාබිය, දකුණු කොරියාව, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, රුසියාව සහ තායිලන්තය වැනි රටවල් 40 කට නොමිලේ වීසා පහසුකම ලබා දීමට නියමිතය .
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසූවේ එම රටවලින් පැමිණෙන සංචාරකයන් විසින් අනෙකුත් සියලුම ක්‍රියා පටිපාටි අනුගමනය කළ යුතු බවයි . ඔවුන් වීසා ගාස්තුව පමණක් නිදහස් කරන මුත්, විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගැනීම අනිවාර්ය බව අමාත්‍යවරයා පැවසීය.
නොමිලේ වීසා පහසුකම හේතුවෙන් රජයට ඇමරිකානු ඩොලර් මිලියන 75 ක පමණ පාඩුවක් අපේක්ෂා සිදුවිය හැකි මුත්, මෙම තීරණය නිසා තවත් සංචාරකයන් 247,000 ක් පමණ රටට පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇතිබව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය. එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 317 ක් උපයා ගැනීමට අපේක්ෂිත බවද ඔහු පැවසීය .