ව්‍යසනයක් නිසා රජයේ වැඩ ආපසු හරවන්න බෑ.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය .

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා හඳුන්වාදුන් ‘REBUILDING SRI LANKA’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ආර්ථික ව්‍යසනයකට මුහුණ දී තිබුණු රට ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතක සුළි කුණාටුවට මුහුණදීමට සිදුවු නමුත් ඒ තුළින් රජයට කිසිදු අවස්ථාවක ඇඟබේරා ගැනීමට අවශ්‍යතාවයක් ඇති නොවුණ බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

පවුල් ලක්ෂ 7ක නියෝජනය කරන පුද්ගලයින් ලක්ෂ 24 කට ආසන්න පිරිසකට දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූ බවත්, නිවාස 6,000ක් පමණ අහිමි වූ බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, ආපදා හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස 110,000කට පමණ හානි සිදුවු බව පැවසීය . ව්‍යසනය වෙනුවෙන් වියදම් කිරීමට පමණක් රු බිලියන 500ක ඇස්තමේන්තුවක් සම්මත කරගත් බවද පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙලෙස පැවසීය .

“අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල් තියලා ඇඟබේරා ගන්න හැකියාව තිබුණා අවශ්‍ය නම්. ඉතිහාසයේ අපි එහෙම තමා ගමන් කරේ. අවුරුදු 30ක් සියලු විනාශයන් හේත්තු කළා යුද්ධයකට. එහෙමයි අපිට තිබුණේ. යම් වසංගත තත්ත්වයන් තමා මේ ව්‍යසනයේ ආවරණය බවට පත්කර ගත්තේ. අපිට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නෑ අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට මෙය භාවිත කරන්නෙ නෑ කියලා තීරණයකට ආවා.”