රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය වන්නේ මෙහෙමයි

මෙම වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධනය කරනවා.

එහි සමාරම්භය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 21 වැනි දින පැවැත්වීමට නියමිතයි.

මැයි 21 සිට 27 වැනි දින දක්වා ජාතික වෙසක් උත්සවය සතියක් පුරා සැමරීමට පියවර ගෙන තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් ආවරණය කරමින් විවිධ ආගමික,ශාසනික හා සමාජ සේවා වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබෙන්නේ මෙවර වෙසක් උත්සවය ආගමික ශාසනික ප්‍රබෝධය ඇති වන ලෙස අංග රැසක් ඇතුළත්ව උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටයි.

මෙහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ජාවක් මහා සංඝ රත්නයේ හා මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ධර්මරාජ පිරිවෙනේ දී පැවැත්වුණා.

එම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, සෞඛ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරී, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!