නීතියට අභියෝග කර රට ගිය පිරිස් අද අසරණ වෙලා – ඇමති මනුෂ

රැකියාවක් සඳහා විදේශගත වෙනවා නම් විදේශසේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි, බලපත්‍රලාභී ආයතනයක් හරහා පමණක් යායුතු බවට කොතරම් දැනුවත් කිරීම් කළත්, තවමත් ජාවාරම්කරුවන්ට අසුවන පිරිස් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ රැකියා සඳහා ඊශ්‍රායලය බලා පිටත්ව යන පිරිසකට ගුවන් ටිකට්පත් සහ වීසා ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුතු කාර්යාංශයේ පැවති උත්සවයක දී ඊයේ (15) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

රජයේ අනුමැතියකින් තොරව, කිසිදු රාජ්‍ය තාන්ත්‍රික සබදතාවයකින් තොරව, මිනිස් ජාවාරම්කරුවන් සමග එක් වී රුසියාවේ සහ යුක්‍රේනයේ කඳවුරු රැකියාවලට ගිය පිරිස අද එරට අසරණ වී සිටින බවත් ඔවුන් මිනිස් වෙළදමේ ගොදුරු බවට පත් වී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නා.

රුසියානු සහ යුක්‍රේන තානාපති කාර්යාල හරහා ඔවුන්ගේ තොරතුරු ලබාගෙන නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු සැලසුම් කරන නමුත් අදාළ කණ්ඩායම රැකියාව සදහා ගොස් තිබෙන්නේ ආණ්ඩුවේ හමුදාවල්වලට නොව කුලී හමුදාවල්වලට බවත් එම නිසා මොවුන් පිළිබද තොරතුරු ලබා ගැනීමට බොහෝ අසීරු බවත් අමාත්‍යවරයා පැවසුවා.

“රට රස්සාවකට යනව නම් නීත්‍යාඥානුකූලව යන්න. මොන රටකට රස්සාවට ගියත් ඔවුන් 1985 විදේශසේවා නියුක්ති කාර්‍යංශයේ පනත යටතේ ලියාපදිංචි වී යා යුතුමයි. ඒක පනතේ තියෙන නීතියක්. එම නීතියට අභියෝග කරල ගිහිපු පිරිසක් තමයි අද මේ අසරණ වෙලා තියෙන්නේ. හොරුන්ට සල්ලි හොයාගන්න ඕන වුණාම අහිංසක මිනිස්සු අල්ලගෙන මෙහෙම ජාවාරම් කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් එක් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!