විභාගය ලියන්න ගොස් අතුරුදන් වූ දැරියන් දෙදෙනා කඩුවෙලින් හමුවූ හැටි

අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට ගොස් පසුගිය 14 වැනිදා අතුරුදහන් වු පාසල් සිසුවියන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාතී නිවසක සිටි බව ඊයේ (15) රාත්‍රියේ එම සිසුවියන් දෙදෙනාගේ ඥාතීන් විසින් පොලීසිය වෙත දැනුම් දුන් බව ගිනිගත්හේන පොලීසිය පවසනවා.

ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව ජාතික පාසලේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානය වෙත පසුගිය 14 වැනිදා උදෑසන විභාගයට පෙනී සිටිමට ගිය සිසුවියන් දෙදෙනා විභාගයට පෙනී නොසිට කිසිවෙකුට නොදන්වා එදින නිවසට නොපැමිණි නිසා එම සිසුවියන් දෙදෙනාගේ දෙමව්පියන් ගිනිගත්හේන පොලීසියට පැමිණිලි කර තිබුණා.

රැකියාවක් සොයාගැනිමේ අපේක්ෂාවෙන් සිසුවියන් දෙදෙනා කොළඹට ගිය බවත්, පසුව කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස් ඊයේ (15) රාත්‍රියේ ඒ බව තම දෙමව්පියන්ට දැනුම් දි ඇති බවත් පොලීසිය පවසනවා.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ,කඩුවෙල ප්‍රදේශයේ සිට එම පාසල් සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ ඥාතීන් විසින් අද (16) ගිනිගත්හේන පොලීසිය වෙත ගෙනැවිත්, එම පාසල් සිසුවියන් දෙදෙනාට අවවවාද කර ඥාතීන් වෙත භාර දීමට කටයුතු කරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!