දිළිඳුකම තුරන් කරන්න පුළුවන් කෘෂිකර්මාන්තයේ දියුණුවෙන් පමණයි – ජනපතිගෙන් නොසිතූ ප්‍රකාශයක්

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවද පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බව ද සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (14) පෙරවරුවේ එක් වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මෙරට ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම තුරන් කළ හැක්කේ කෘෂිකර්මාන්තයේ දියුණුව තුළින් පමණක් බවයි.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඇති රටවල ජනගහනය බිලියන ගණනින් වැඩි වන බවට පුරෝකථනයක් සිදුකර ඇති හෙයින් එම රටවල මධ්‍යම පාන්තිකයන්ගේ ආහාර අවශ්‍යතාවයට සරිලන කෘෂිකර්මාන්තයක් නිර්මාණය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අපනයන කෘෂි කර්මාන්තය නොවැටෙන තැනකට ඔසවා තැබිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් පෙරේදා (13) කැබිනට් මණ්ඩලයේ දී අනුමත කළ බවද එහි දී ජනාධිපතිවරයා පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!