ඩොලර් මිලියන 2.5 වංචාව හැක් කිරීමක් නොවනා බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති කියයි .

විදේශ ණය වාරිකයක් ලෙස ඔඩ්ට්‍රේලියානු ආයතනයකට ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල තුන්වෙනි පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියේදී එකී මුදල බැරවූ ස්ථානය පිළිබඳව මේ වන විට රජයට අවබෝධයක් පවතින බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි .

වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු පැවසූවේ මූලික පරීක්ෂණවලට අනුව අමාත්‍යාංශය තුළ සිටින කිසිදු නිලධාරියෙකු මීට සෘජුව සම්බන්ධ වී නැති බව තහවුරුව ඇති බවත්, එම මුදල් නිශ්චිත ගිණුමකට බැර වී ඇති බැවින් ඒ ඔස්සේ පැහැදිලි ඩිජිටල් පථයක් පවතින බවත්, පරීක්ෂණවල ආරක්ෂාව උදෙසා එම තොරතුරු දැනට රහසිගතව තබා ගන්න බවත් ය .

මෙම සිදුවීම ඩිජිටල් පද්ධතියට රිංගා සිදුකළ “හැක්” කිරීමකට වඩා, අදාළ අන්තර්ජාතික සමාගමේ නමට සමාන “ඩොමේන්” නාමයක් සහ ඊමේල් ලිපින භාවිත කරමින් සිදුකළ සංකීර්ණ නොමඟ යැවීමක් බව ඔහු පෙන්වා දෙයි .

එමෙන්ම මහජන මුදල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයේ ප්‍රධාන ඩිජිටල් පද්ධති පැය 24 පුරා නිරීක්ෂණය කරන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය මේ වන විට ස්ථාපිත කර ඇති බවද ඔහු පැවසීය . දැනට ආයතන 12ක් මීට සම්බන්ධ කර ඇති අතර, ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන 37ක් මෙම සුරක්ෂිත පද්ධතියට ඇතුළත් කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේය.

මෙය බැංකු පද්ධතිය හරහා සිදුවූවක් බැවින් අන්තර්ජාතික නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ බැංකු සමඟ එක්ව එම මුදල් නැවත ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද ඔහු පැවසීය .

“ආයතනය ඇතුළේ ඉන්න නිලධාරීන්ගේ සම්බන්ධයක් අපිට පේන්නේ නැහැ. සිදුවී ඇත්තේ අදාළ ඊමේල් පණිවිඩවල ඇති සුළු වෙනස අවබෝධ කර නොගැනීම නිසා සිදුවූ අතපසුවීමක්. කෙසේ වෙතත් ‘ඩිජිටල් ෆොරන්සික්’ පරීක්ෂණයක් මගින් මේ පිළිබඳ අවසන් නිගමනයට එළඹෙනවා.” නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පැවසීය .