එරාන් කට අරියි .

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපතිත්වය තමන් භාරගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න නිවේදනය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ කළ ආරාධනයකට අනුව තමන් මෙම ධුරය භාරගත් බවත්, ඒ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නායකයන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඔහු පවසයි. අවසානයේ ඊයේ දිනයේ එකී වගකිම බාරගත් බවත් ඔහු සඳහන් කරයි .

විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන්, කීර්තිමත් ආයතනික කළමනාකරුවන් සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් නව දෙනෙකුගෙන් යුත් මෙම කමිටුව මෙහෙයවීමට ලැබීම තමා ලද ගෞරවයක් බව වික්‍රමරත්න ඔහු පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නීතිරීතිවලට අනුකූලව නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම, විනිවිදභාවය තහවුරු කිරීම සහ දූෂණ විරෝධී ක්‍රමවේද හරහා මහජන විශ්වාසය යළි ගොඩනැගීම, ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහ දිරිගැන්වීමේ ක්‍රමවේද හරහා ජාතික කණ්ඩායම් ශක්තිමත් කර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඔසවා තැබීම කමිටුවේ මූලික අවධානය යොමු වන ප්‍රධාන කරුණු බව නව අතුරුකමිටුවේ සභාපතිවරයා පෙන්වා දෙයි.