ඌරකුගේ වකුගඩුවක් බද්ධ කළ අමෙරිකානුවා ගැන ඇහෙන සංවේදී කතාව

ලෝකයේ ප්‍රථම වරට ජාන තාක්ෂණය හරහා වෙනස් කරන ලද ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කළ අමෙරිකානු ජාතිකයා මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඉකුත් මාර්තු මාසයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් රෝහලේ දී ජාන වෙනස් කළ ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කළ 62 හැවිරිදි රීක් ස්ලේමන් නැමති පුද්ගලයා පෙරේදා (12) මියගොස් ඇති බවයි.

ස්ලේමන් ඉකුත් වසරේ අවසන් අදියරයේ වකුගඩු රෝගයකින් පෙළෙන බව හඳුනා ගැනීමෙන් පසු ඔහුට ජාන තාක්ෂණය හරහා වෙනස් කරන ලද ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කර තිබෙනවා. සැත්කමෙන් පසු ඉකුත් අප්‍රේල් මාසයේදී ඔහු නිවෙසට ගිය බවත්, ඔහු සුවයෙන් පසුවන බවත් සැත්කම සිදු කළ වෛද්‍යවරුන් පවසා තිබුණා.

මියගිය තැනැත්තාට වකුගඩුව බද්ධ කිරීමේ සැත්කම සිදු කළ රෝහල මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ වකුගඩුව බද්ධ කිරීම ඔහුගේ මරණයට හේතු වී ඇතැයි හෙළි වී නොමැති බවයි.

පැය හතරක සැත්කමකින් පසු ජාන වෙනස් කරන ලද උරෙකුගේ වකුගඩුව ස්ලේමන්ට සාර්ථකව බද්ධ කිරීමෙන් අනතුරුව එම වෛද්‍යවරුන් කියා සිටියේ එම වකුගඩුව වසර ගණනක් හොඳ ක්‍රියාකාරිත්වයකින් පසුවනු ඇති බවයි.

කෙසේ වුවද සත්ත්වයකුගේ අවයවයක් මිනිසාට බද්ධ කිරීමේ දී මෙතෙක් අනාවරණය කරගත නොහැකි වූ තත්ත්වයන් තිබිය හැකි බවද වෛද්‍යවරුන් පෙන්වාදෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!