සෞඛ්‍ය ක්ෂෙස්ත්‍රය ගැන බොරු කියනා අයට කරනා දෙය ඇමති නලින්ද පවසයි.

රජයේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සහ නිසි ප්‍රමිතීන්ට අනුකූලව සිදුකරන බවත්, රෝගීන්ගේ ජීවිත කිසිම ආකාරයකින් අවදානමේ හෙළීමට ඉඩ නොතබන බවත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .

වත්මන් රජය පවතින නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) දැඩි අධීක්ෂණයට යටත්ව කටයුතු කරන බවත්, සියලුම ඖෂධ ලියාපදිංචි කිරීම් සහ පරීක්ෂා කිරීම් ක්‍රමානුකූලව සිදුකරන බව ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය .

මාධ්‍ය හමුවක් අමතමින් කරුණු දක්වූ අමාත්‍යවරයා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමයේ සිදුවූ දූෂණ ක්‍රියා පිළිබඳව සිහිපත් කළේය . නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් යටතේ ඖසධ ඇනවුම් නොකොට, කෘතිමව හදිසි තත්ත්වයන් නිර්මාණය කර නීතිරීති උල්ලංඝනය කරමින් තමන්ගේ මඩි තර කරගන්නා ආකාරයේ කිසිදු කටයුත්තක් වත්මන් රජය යටතේ සිදු නොවන බව ඔහු අවධාරණය කළේය

එවන් තත්ත්වයක් පැවතියද ඇතැම් නාළිකා සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් සෞඛ්‍ය ක්ෂේත්‍ර පිළිබඳව විශ්වාස බිඳ වැටෙනා ආකාරයේ පුවත් ප්‍රචාරය කරමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා එවැනි කණ්ඩායම් සහ පුද්ගලයන්ට එරෙහිව රට තුළ පවතින සාමාන්‍ය නීතියට අනුව කටයුතු කිරීමට රජය පසුබට නොවනා බවද පැවසීය .