සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 21 යි.

2004 වසරේ ශ්‍රී ලංකාව ඇතුළු කළාපීය රටවල් මුහුන දුන් සුනාමී ව්‍යසනයට අදට වසර 21 ආපිරේ. දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදු වූ ප්‍රභල භූ කම්පනය හේතුවෙන් මෙම සුනාමී තත්ත්වය ඇති විය.

ඉන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන්වූ අතර දේපල රැසක් ද විනාශයට පත්විය.

සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සදහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කරමින් සැමරුම් උත්සව පැවැත්වෙන අතර මෙවර ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී අද පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙ.

ඒ පිළිබඳව අදහස් දක්වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනුයේ මෙවර ජාතික සුරක්ෂිත දිනයේදී සුනාමි ව්‍යසනයෙන් මෙන්ම සෙසු ආපදාවලින් මියගිය පිරිස් සිහිපත් කිරීම සිදුවන බවය.

එමෙන්ම ආපදා තත්ත්වයන්ගෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි .

මේ අතර පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි ජල කඳට හසුවී විනාශයට පත්වූ දුම්රිය අනතුර සිහිපත් කිරීම සඳහා මරදාන දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 6:30ට මාතර බලා දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත .