ශානි ඇතුළු පොලිස් ලොක්කන් මාලිමාවට යාම වරදක් ද?


විශ්‍රාමික පොලිස් නිළධාරීන් මාළිමාවේ වේදිකාවට නැගීම සංවාදයට හා ප්‍රහාරයට ලක්වූ මාතෘකාවක්ව තිබේ. සක්‍රිය පොලීස් හා හමුදා අයට දේශපාලනය තහනම් වුව ද මාළිමාව මුලින්ම “විශ්‍රාමික” හමුදා නිළධාරීන්ගේ එකමුතුවක් තැනුවේ විශ්‍රාමික හිලෙන් රිංගා ය.


ඊට නායකත්වය දී එහි මුල් පුටුවේ වාඩිවුණේ මේජර් ජෙනරල් කෙනෙකි. හමුදාවේ ඔහුට ඉහළින් සිටි තවත් පිරිසක් ඊට එක්වන්නට යම් කැමැත්තක් තිබුණ ද එම නිළධාරියා දැරූ මාළිමා පුටුවට තට්ටු වේවි යයි ඔහුට තිබූ බිය නිසාදෝ ජවිපෙ නායකයන් ගේ හිත් හදා හෝ අන්දා තමන්ට ඉහළින් හමුදාවල සිටි කිසිවෙකුට මාළිමාවට ඇතුල්වීමට ඔහු ඉඩ තැබුවේ නැති බව හමුදා ආරංචි මාර්ග කියයි.


සජබ ද එවැනිම හමුදා එකමුතුවක් තැනූ අතර ඊට ද “විශේෂයෙන් හිටපු හමුදාපතිවරු” ඇතුළු විශාල පිරිසකගේ පුතිචාර ලැබිණ. මාළිමාව කොපි කල බවට ද සජිත් ට ජවිපෙ කාඩර්වරු ප්‍රහාර එල්ල කළේ ඉන් අනතුරුවය. මෙවැනි හමුදා එකමුතුවක් තැනීමේ අරමුණු ගැන අනුර හෝ සජිත් රටට කරුණු පැහැදිලි කිරීමක් ද සිදු කොට නැත.


හමුදා එකමුතුව හැදූවිට නොපැමිණි ප්‍රතිරෝදයක් මාළිමාවට ආවේ පොලිස් එකමුතුව තැනූ විටය. පොලිසියේ එවුන් යනු දහජරා වැඩ වල පිකාසෝලා බවට පවතින සමාජ මතය බැහැර කල නොහැක්කකි. ඔවුන් සියලු දෙනාට දේශපාලුවන්ට නොදෙවෙනි “හුණු” පැවතීම අනිවාර්යය.


මෙතනදී වැඩිම අවධානය හා සංවාදය මෙන්ම ප්‍රහාර ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව සිටි ශානි අබේසේකරට ය. ලංකාවේ පොලීසියේ “ෂයිලොක් හෝම්ස්” ලෙස ද ප්‍රකට ශානි ගැන මට කතා කල හැකි පසුබිමක් පවතී.
ශානි යනු ගාල්ලේ බද්දේගම පාරේ උළුවිටිකේ ඉපදුන ගාල්ල මහින්දයේ අකුරු කල සංඝමිත්තා ගිය බස් හා පාසල් ප්‍රේමය විවාහය බවට පත්කරගෙන එය භුක්ති විදින අප පාසැල් මිත්‍රයෙකි. ශානි ගේ කිල්ලෝටයේද හුණු තිබිය හැකිය. එහෙත් මා අසා ඇති පරිදි ඔහු සාපේක්ෂව හොද අයෙකු බව විග්‍රහ කරන අය බොහෝය. ඔහු තවම ඉන්නේ කුලී ගෙයක බව ද මුදලට ප්‍රමුඛත්වය නොදුන් බවට ද රාජකාරිය බොහෝ දුරට අකුරටම ඉටුකලාය කියන අය ද එමටය.


ඊට එක් නිදසුනක් මා සතුය. සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය වන විට වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධානියා වූ එමිල් රන්ජන් ළමාහේවා ශානි ලා හා අප අකුරු කලේ මහින්දයේ එකම පංති වලය. ඝාතන සිද්ධියේ පරීක්ෂණ බාරවූයේ ශානිට ය. ඉදහිට පාසල් මිතුරන්ගේ නිවාස වලට යන ශානි දිනක් එමිල් ගේ නිවසට ආවේ දරු පවුල ද රැගෙනය. මහින්දයේ හා ගාල්ලේ පරණ කතා කතා කරමින් හොදට කාබී ශානි ගියේය. සිරකරු ඝාතන නඩුවට අදාළව පසුදා එමිල් අත්අඩංගුවට ගත්තේ ශානිගේ නියෝගයෙනි. කන බොන ගමන් ඔහු එමිල් ගෙන් මොනවා අල්ලා ගත්තාදැයි අප දන්නේ නැත.


එක ගමේ එක පාසැලේ එකට කනබොන මිත්‍රයෙකුට අදාළව වුවද ශානි රාජකාරිය හා නීතිය දැඩිව ක්‍රියාත්මක කල අයෙකු බව ඉන් පසක්වේ.


එහෙව් ශානි ට පසුගිය යුගයේ ඇතිවූ දේශපාලන හා වෘත්තීය තාඩන පීඩන හිරේ විලංගුවේ වැටීම් කෙලවරක් නැත. ඔහු හා එම මුළු පවුලම සෑම තත්පරයම මරණය අපේක්ෂාවෙන් දිවි ගෙවූ බව ද අප දනිමු.


ශානිට අදාළ තවත් එක සිද්ධියක් පමණක් සටහන් තබමි. ශානි යනු හමුදාවේ හා පොලීසියේ ඉහළ නිළතල දැරූ උඩුගම්පොළ පවුලේ සමීපතම පළමු ඥාතීන්ය. නි: පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ එම පවුලේ වැඩිමලාය. ඔවුන්ගේ හා ශානිලා ගේ නිවාස පිහිටියේද ගාල්ල උළුවිටිකේ මීටර 200 ක පරතරයකය. 88 – 89 ජවිපෙ භීෂණය ආවේ ජනතාව පත්කල ආණ්ඩුවට එරෙහිවය. එය ගොඩින් බේරාගන්නට ජනපති ප්‍රේමදාස දැඩි උත්සාහයක් ගත්තේය.


“විජේවීර ඉන්න තැනකට මම තනියම එන්නම්. ආණ්ඩුවේ ඇමතිකම් 05 ක් හා මන්ත්‍රීධුර ඉල්ලන ගණනක් දෙන්නම්. අපි රටේ මිනිස්සු නොමරා රජයේ දේපොළ වනසන්නේ නැතිව මේක කතා කරලා බේරගනිමු. තරුණ අසහනය දුරුකිරීමට චිට් එක වෙනුවට තරග විභාග වලින් රැකියා දෙන ක්‍රමයක් හදමු” කෙසෙල්වත්තේ ප්‍රේමදාස විජේවීරට ආයාචනා කළේය. එහෙත් ප්‍රේමදාස බය වෙලා යයි ජවිපෙ වැරදි ස්ථාවරයක හිටියා දැයි මා නොදනිතත් එවැනි විග්‍රහයක් රට තුළ පැවතින.


විජේවීර අත්තනායක හාමුට ඇද කළුකුම් මස් කමින් සුපිරි ජීවිත ගත කරමින් ජවිපෙ තරුණ කාඩර්වරුන්ට ගිණිඅවිය හා මරණය අතට දුන්නේය. කල හැකි කිසිවක් ඉතිරි නොවූ තැන ප්‍රේමදාස කළේ ආණ්ඩුවකට අකමැත්තෙන්ම ගත හැකි තීන්දුවට නියෝග කොට රාජ්‍ය බලය පාවිච්චි කොට තත්වය පාළනය කිරීමට අණ දීමය. 19 71 දී සිරිමාවෝ ජවිපෙ කැරැල්ලට කළේ ද එවැනිම රාජ්‍ය බලය පාවිචිච් කිරීමකි.


ජවිපෙ 2024 ජනතාව බලයට පත්කල පසු එම රජයට එරෙහිව ගොංපාට් දැමීමට ආවොත් උපරිම රාජ්‍ය බලය යොදා මර්දනය කරන බව දැන් ලාල්කාන්ත කියනුයේ ද එදා 71 හා 88 දී පැවති ආණ්ඩු රාජ්‍ය බලය පාවිච්ච් කිරීම නිවැරදි බව පසක් කරමින් විය යුතුය.


“උතුරේ කොටි හා දකුණේ ජවිපෙ ත්‍රස්තයන් රට වනසනවා දෙකොණ පත්වෙන මේ විලක්කුව නිවලා මම ප්‍රජාතන්තුවාදය ස්ථාපිත කරනවා” එදා ජවිපෙ භීෂණය මැද ප්‍රේමදාස කීවේ එහෙමය.


82 ජනපතිවරණයේදී ඡන්ද දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණක් ලැබූ ජවිපෙ රටේ බලය කෙටි මාර්ගයෙන් ලබා ගැනීමට තරුණ අසහනය නම් බෝඩ් ලෑල්ල ඉදිරියට දමා තුවක්වෙන් බලය ගන්නට හැදුවේ එහෙමය.


ජවිපෙ බස් කෝච්චි කෘෂි හා රජයේ ගොඩනැගිලි වනසමින් ගිණි තබමින් එජාප හා වමේ පක්ෂ වල දේශපාලකයන් හා එම පක්ෂ වල සාමාන්‍ය මිනිසුන් හිමිවරුන් මෙන්ම හමුදා හා පොලීසියේ පවුල් ඝාතනය කරමින් චිට් ඇදිරි නීතිය දමා රට වසා ආර්ථිකය සෝදා පාලු කරමින් ජවිපෙ විසින් ඝාතනය කල අයගේ මිණීය දනින් ඉහලට එසවීම තහනම් කරමින් හැදුනුම් පත් එකතු කරමින් නැටූ ජංජාලය ලාංකීය හද හා සමාජ රිද්මය සසල කළහ.


ප්‍රේමදාස ද යක්ෂයාට ඇද රාජ්‍ය හා එසේ නොවන කණ්ඩායම් හරහා එම කැරැල්ල අති අමානුෂිකව මර්දනය කළේය. ලයිට් කණුවල බැද ජවිපෙ ට වෙඩි තැබුවේය. මළ සිරුරු හන්දි වල ගොඩගසා ටයර් දමා ගිණි තබා ජවිපෙ කරටි කැඩුවේ ඊශ්‍රායල උපදේශන මතය.


රාජ්‍ය බලය ජවිපෙ ට එරෙහිව යෙදවීමේ ක්‍රියාවලියේදී වඩාත් සුපුසිද්ධ පොලිස්කාරයා වුයේ නි: පොලිස්පති උඩුගම්පොළ ය. එනම් අප කතානායක ශානි ගේ මාමා ය. 1989 රාත්‍රියේ උළුවිටිකේ උඩුගම්පොළ පවුලේ මහගෙදර ජවිපෙ 200 ක පිරිසක් වටලා තිබුණේ තුවක්කු බෝම්බ කඩු හා පෙට්රල් සමඟය. එදා එම නිවසේ සිටි කිසිවෙකුට එළියට එන්නට නොදී දොර අගුළු දා ගෙයි වහලට පෙට්රල් දමා ගිණි තබා තිබුණේ ඒ වනවිට එහි සිටි වයස 86 ක් වූ උඩුගම්පොළ මව සහෝදරයන් හා ඔවුන්ගේ නොදරුවන් ඇතුළු 10 කට ආසන්න පිරිසක් අමුඅමුවේ පුළුස්සා ඝාතනය කරමිනි.


එය ජවිපෙ භීෂණය තුළ සිදුවූ එක් ආන්දෝලනාත්මක සිද්ධියක් පමණකි. ඒ ගැන ශානි එදා කී දේවල් අපට මතකය. එදා මරණ බයේ හැංගී රාජකාරි කල ශානි ලා අද එම සිද්ධිය ගැන දරන ස්ථාවරය හා මාළිමා වේදිකාවට ගොඩවන විට එය මතක් වුණේ නැද්දැයි දැනගන්නට අප කැමතිය.


නිදහසින් පසුව රටකල අය රට කෑවා හා හොරකම් කලා යයි ජවිපෙ මතුකරන තර්කයකි. එහි ඇත්ත මෙන්ම විශාල ව්‍යාජයක් ද පවතී. එදාට වඩා රට අද හැම පැත්තෙන්ම ඉදිරියට ගොසිනි. සෞඛ්‍ය අධ්‍යාපනය මාර්ග හා යටිකල ආදිය නිදසුන්ය. එකම අවුල ලෙස මා දකින්නේ රටේ ආදායම හා වියදම අතර පරතරයක් නිරන්තරව පැවතීමය. නිෂ්පාදනය වැඩිකර අපනයනය වැඩිකර ගන්නට හා ආයෝජන ගේන්නට අසමත්වීමය. රට කල දේශපාලකයන් මෙන්ම ජවිපෙ අවස්ථාවාදී වෘත්තීය සටන් ද ඊට වගකිවයුතු නැද්දැයි අපට ප්‍රශ්න කිරීමට සිදුවේ.


රට පාලනයට ජවිපෙ ද සෘජු හා වක්‍රව 1994, 2004, 2005, 2015 ආණ්ඩුවල සිටි බව හා ඇතැම් ආණ්ඩු වල දැවැන්ත වගකීම් ද බාරගත් බව රහසක් නොවේ. එසේ නම් රට අද තිබෙන පසුබිමට ජවිපෙ ද වගකිව යුතුවේ. හොරකම හරහා රටට සිදුවූ විශාල පාඩු පවතී. එහෙත් ඒවා මෙන් දෙගුණයක පාඩුවක් ජවිපෙ හා කොටි ත්‍රස්තයන් රටට සිදුකොට තිබේ. අද ලංකාවට පවතින්නේ ක්ෂණික ඩො බිලි 5 -6 ක හිගයකි. නමුත් ජවිපෙ හා කොටි අරගල තුළ රටට ඩො බිලි 200 ක හානි සිදුවූ බවට අනුමාන කෙරේ.


ජවිපෙ අනුගමනය කරනුයේ සමාජවාදය ය. මාළිමාව තුළ සිටින අයගේ ස්ථාවරය ලිබරල් ය. එසේ නම් ලිබරල් ක්‍රමයේ පිකාසෝලා හා ගොඩ් පාදර්ලා රනිල් ලා මෙන්ම සජබ අයය. ඔවුන්ගේ ක්‍රමවේදයට විකල්ප ක්‍රමයක් ජවිපෙ හා මාළිමාවට තිබෙන බව රටට එළි කලහොත් මුළු ලංකාවම මාළිමාවට පක්ෂපාතී වනු ඇත. ශානි එදා භීෂණය පවා අමතක කොට අද මාළිමා වේදිකාවට නැග්ගේ අප නොදන්නා හා රටට නොකියන රට හදන මාළිමාවේ විකල්ප ක්‍රමය ඔවුන් ශානි ලාට රහසේ කියලා දැයි දැන ගන්නට ද අප කැමතිය. මන්ද අපි ආවාම රට හදනවාය හොරු අල්ලනවාය කියන හිස් කයිවාරු වලින් නම් රටක් හදන්නට හා හොරු අල්ලන්නට බැරිය.


නමක් තියාගත් ශානි වැනි පොලිස්කාරයෙක් දේශපාලන මඩ ගොහොරුවක දැන දැනම එරීම ගැන ඇත්තේ සාතිශය සංවේගයකි. තවද විජේවීර හෝ සෝමවංශ ගේ නොවන අනුර ගේ ජවිපෙ ප්‍රමුඛ මාළිමාවට ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට හැකි වුවහොත් ආරක්ෂක ලේකම්වීමේ රුදාව ද ශානි හා මේ හමුදා පොලිස් නඩයට තිබිය හැකි නිසා එම තනතුරු දුසිම් 2 – 3 ක් පත් කිරීමට අප මිත්‍ර ජනාධිපති අනුර ට සිදුවනු නිසැකය.

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!