ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් යානා මෑතක සිට බහුල වශයෙන් ප්‍රමාද වීමක් සිදුව ඇත. ජපානයේ, නරීටා බලා ඊයේ (ජූනි 28) රාත්‍රී 07.50ට කටුනායක ගුවන්තොටුපොළින් පිටත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර්බස් A330-300 යානයක් ආපසු ගොඩබැස්වීමට නියමුවන් කටයුතු කර තිබේ.
ගුවන් ගමන් අංක UL-454 හා ලි.ප අංක 4R-ALR දරන ගුවන් යානාව තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස ආපසු ගොඩබැස්වීමට කටයුතු කර ඇති බව වාර්තාවේ.
එම යානාවේ රෝද පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඊට හේතු වූ බවද, එය ගොඩබැස්වීම සඳහා තාක්ෂණික වශයෙන් සූදානම් කිරීමට මිනිත්තු 155ක් පමණ පියාසර කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය පිළිබඳව මෙම කාල වකවානුව තුළ දිගින් දිගටම වාර්තා වේ.
විශාල මුදලක් ගෙවා ගුවන් ටිකට්පත් මිලදී ගන්නා පාරිභෝගිකයින් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත් වී ඇත.
එමෙන්ම 2023 ජුනි 20 දින රාත්‍රී 08.20 ට සියෝල් නගරය බලා පිටත්ව යාමට නියමිතව තිබූ UL 470 දරන ගුවන්යානය නොවැළැක්විය හැකි හේතුවක් නිසා ප්‍රමාද වූ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පසුගියදා නිවේදනය කළ අතර, එම සිදුවීම නිසා දකුණු කොරියාවට පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයින් පිරිසකට එම අවස්ථාව අහිමිවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය චෝදනා කළේය.
පසුගිය මැයි 23 වනදා ද මේ ආකාරයට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ප්‍රමාදවූ අතර එම ගුවන් යානයෙන් කොරියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රීලාංකික ශ්‍රමිකයින් 800 කොරියාවට භාරගැනීම එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළ බවද වාර්තා විය.
ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ මෙවැනි ප්‍රමාදවීම් දිගින් දිගටම සිදුවීම මගින් විදේශ රැකියා බලාපොරොත්තු බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයන්ගේ සිහින බොඳ වනු ඇත.