ශ්‍රි ලංකාවේ නීපා වෛරසය පැතිරීමේ අවධානමක් නෑ .

‘නිපා’ වෛරසය ශ්‍රි ලංකාවේ පැතිරයාමට ඇත්තේ ඉතා අඩු අවදානමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය . ඔහු මේ බව පැවසූවේ ‘නිපා’ වෛරසය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි .

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් ‘නිපා’ වෛරස ආසාදිතයින් කිහිප දෙනෙකු පසුගියදා හඳුනාගෙන ඇතත්, ඒ හේතුවෙන් අන්තර්ජාතික සංචරණ සීමා පැනවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර නොමැති බව එම නිවේදනයේ දැක්වෙයි .

‘නිපා’ වෛරසය ප්‍රධාන වශයෙන් සත්ත්වයන් අතර පැතිරේ . විශේෂයෙන්ම එය වවුලන් අතර දක්නට ලැබෙන ආසාදිත තත්ත්වයකි . එම වෛරසයෙන් ආසාදිත සත්ත්වයන් හෝ ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇතිවූ විට ඉතා කලාතුරකින් මිනිසුන්ට එය බෝ විය හැක. මෙම වෛරසය ඉන්ෆ්ලුවෙන්සාව වැනි වාතයෙන් පහසුවෙන් පැතිරෙන වෛරසයක් නොවන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

තවද කඩිනමින් රෝගීන් හඳුනාගැනීම සඳහා ශක්තිමත් රෝග අවේක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවත්, කිසියම් රෝගී තත්ත්වයක් හඳුනාගතහොත් වහාම ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන් සූදානම්ව සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කර ඇත.

ඒ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සතු රෝග නිර්ණය සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්ද පවතින බව ඔහු අවධාරණය කළේය.