රාජ්‍ය ව්‍යාපාර අටක් විකුණන්නට ගෙන තිබූ තීරණය අත්හිටවයි .

ශ්‍රී ලංකා ටෙලිකොම් , එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 8 ක් විකිණීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඉකුත් රජය සමයේ අදාළ ආයතන විකිණීම අභියෝගයට ලක් කරමින් වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ පිළිබඳ දැනුම් දී ඇත .

අදාළ පෙත්සම අචල වෙංගප්පුලි , මහින්ද සමය වර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම පෙත්සමේ වග උත්තරකරු වශයෙන් ඉකුත් රජයේ අමාත්‍ය මණ්ඩලය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර තිබුනි .

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥ කනිෂ්ක විතාරණ කියා සිටියේ අදාල රාජ්‍ය ආයතන විකිණීම සඳහා රජය ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව දැනුම් දීම නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කර තිබේ.