අංගොඩ ලොක්කාගේ ගෝලයා ගුවන්තොටුපලේ AFRS පද්ධතියට අහු වුණ හැටි

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සරත් කුමාර නොහොත් චිටී ඊයේ (28) කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු දෙලිගහවත්ත, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙකු බව වාර්තා වෙනවා.

ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ සවිකර ඇති Automated Facial Recognize System (AFRS) පද්ධතිය මගින් හදුනාගැනීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමේදී මොහු පාතාල අපරාධ කල්ලි නායකයෙකුව සිටි අංගොඩ ලොක්කා නැමැති අයගේ ප්‍රධාන ගෝලයෙකු බවට අනාවරණය වී තිබෙනවා. මොහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍යව සිටි සැකකරුවෙක්.

අප්‍රේල් 19 වන දින මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් අයිස් මත්ද්‍රව්‍ය 510g ක් සමග නාවික හමුදා නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු විසින් අයිස් මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් හට ලබාදී ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වී ඇති අතර සැකකරු සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් යොදවා සිට ඇති බවද වාර්තා වෙනවා.

එමෙන්ම මෙම සකකරු 2011 වර්ෂයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කිරීම, ගිනි අවි ලග තබා ගැනීම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!