යුක්‍රේන හමුදාවට එක්වූ ලංකාවේ පිරිස ගැන කතා නැත්තේ ඇයි ? – රුසියානු තානාපති ප්‍රශ්න කරයි


විදේශිකයන්ට ස්වකැමැත්තෙන් රුසියානු හමුදාවට බැඳීමට හැකි බවත් රුසියානු නීතියෙන් ඊට බාධාවක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් මහතා සඳහන් කරනවා.

රුසියාවට වීසා ලබාදීමේදී අවශ්‍ය ලියකියවිලි පමණක් පරික්ෂා කර වීසා නිකුත් කිරීම නොකරන බවත් එහිදී ගැහැනු පිරිමි භේදය නොසලකා සියලු දෙනාම සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන බවත් රුසියානු තානාපතිවරයා කියා සිටියා.

රුසියානු හමුදාවට බැඳී ඇති පිරිස මෙරට නියෝජිතයන් මාර්ගයෙන් ගිවිසුමක් අත්සන් කර තිබෙන බව රුසියානු තානාපති කාර්යාලය නොදැනුවත්ව සිටි බවත් තානාපතිවරයා පවසනවා.

සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන අවස්ථාවේ ඔවුන් ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකළ බවත් රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් මහතා පෙන්වා දෙනවා.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අකාරයට එලෙස රුසියානු හමුදාවට එක්ව ඇති ශ්‍රී ලාංකිකයන් අත්සන් කර ඇත්තේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ගිවිසුමක් දැයි යන්න පිළිබඳ කිසිවක් මෙම අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව විමර්ශනයක් සිදු කරන බවත් රුසියානු තානාපතිවරයා සඳහන් කළා.

රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මාධ්‍ය විශාල ප්‍රචාරණයක් ලබා දුන්නත් යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස බැඳී ඇති ශ්‍රී ලාංකිකයන් පිළිබඳව කිසිවකු කතා නොකරන බවත් රුසියානු තානාපති ලෙවාන් එස් ජගර්යාන් සඳහන් කරනවා.

ඒ පිළිබඳ පැමිණිලි නොලැබුණු පමණින් ශ්‍රී ලාංකිකයන් යුක්රේන හමුදාවට බැඳී නොමැති බව අදහස් නොවන බවත් යුක්රේන හමුදාවේද ශ්‍රී ලාංකිකයන් සිටින බවත් රුසියානු තානාපතිවරයා කියා සිටියා.

එම නිසා රුසියාව සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන ලෙස ද තානාපතිවරයා ඉල්ලා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!