මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලංකාවේ ස්ථිර පදිංචිය දෙන්නැයි ඉල්ලීමක්

මෙරට සංචාරයක නිරතව සිටින මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් (Moosa Zameer) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

මාලදිවයින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ෂෙරීනා අබ්දුල් (Sheryna Abdul) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක් වී තිබෙනවා.

ආගමන විගමන කටයුතු පිළිබඳව අමාත්‍යවරුන් දෙපළ අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරුවක් සිදු වූ අතර මෙහිදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද සාකච්ඡා කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා.

එම අමාත්‍යයාංශය් වැඩිදුටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නව වීසා කාණ්ඩයන් හඳුන්වා දීම පිළිබඳව මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළ කළ බවයි.

එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙරටට පැමිණ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කළ බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා