මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පාකිස්ථානය තවත් දේශපාලන අවුලක.

පාකිස්ථාන මැතිවරණය පැවැත්වී අද වන විට ගතවී ඇත්තේ දවස් හයක කාලයක් පමණි. උණුසුම් මෙන්ම තරගකාරී මැතිවරණයකින් පසුව වුවද මීළඟට පකිස්ථාන රජය පිහිටුවන්නේ කුමන පක්ෂයද?. තම මීළඟ අගමැතිවරයා කවුරුන්ද යන වග පකිස්ථානුවෝ තවමත් නොදනිති.

මැතිවරණයේදී ටෙරීක්-ඊ-ඉන්සාෆ්(PTI) වෙත එල්ල වූ බොහෝ බාධක නොතකා පක්ෂයේ සහාය ඇති ස්වාධීන අපේක්ෂකයින් ජාතික සභා ආසන 256න් 93ක් දිනා ගැනීමට සමත් වූයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් බහ්ධනාගාර ගතව සිටියදීය . ඔවුන් මෙම ජයග්‍රහණය ලැබුවේ නිරීක්ෂකයන්ද මවිතයට පත්කරමිනි. තත්ත්වය එසේ වුවද එම දිනාගත් ආසන ගණන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය 169ක සරල බහුතරයට වඩා බෙහෙවින් අඩුය.

මැතිවරණයේදී ආසන 75ක් දිනා දෙවන ස්ථානයට පත් වූයේ හිටපු අගමැති නවාස් ශරීෆ්ගේ පකිස්තාන මුස්ලිම් ලීගය පක්ෂයයි. මේ වන විට ඔහුට එරට හමුදාවේ සහාය ලැබෙන බවද පෙනීයන කරුණකි. මීට වසර 05කට පමණ පෙර අපකීර්තිය ගෙනදුන් සිදුවීම් කිහිපයක් හේතුවෙන් රට හැර ගොස් නැවත මැතිවරණයට අවතීර්ණ වූ නවාස් ශරීෆ් ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරා ළඟා වෙතැයි අපේක්ෂාව විය.

පකිස්ථාන මැතිවරණයේ තෙවන ස්ථානයට පත්වූයේ කීර්තිමත් දේශපාලන පවුලකින් පැවත එන බිලාවල් භූතෝ සර්දාරිගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන මහජන පක්ෂයයි. ඔවුන් ලබාගත් ආසන ප්‍රමාණය 54කට සීමා විය.

කෙසේ වෙතත් පකිස්ථානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දේශපාලන පක්ෂ විසින් එළඹෙන පෙබරවාරි 29 වන දිනට හෝ මැතිවරණ දිනයෙන් සති තුනකට පසු ආණ්ඩුවක් පිහිටවිය යුතුය. මෙහිදී ජාතික සභාවේ ආසන 366 කි. ඉන් 266ක් සෘජු ඡන්දයෙන් තීරණය වේ. ඉන් කාන්තාවන් සඳහා 60ක් වෙන්වන අතර මුස්ලිම් නොවන පුද්ගලයන් සඳහා ඉන් 10ක් වෙන් වේ. ආසන 70ක් වෙනමම වෙන් කිරීමක් සිදුවේ. මේවා වෙන් වන්නේ සභාවේ එක් එක් පක්ෂවල ශක්තිය අනුවය.

මෙවර කිසිදු පක්ෂයක් ආණ්ඩුවක් පිහිටවීමට අවශ්‍ය සරල බහුතරයක් ලබාගෙන නොමැති තත්ත්වයක් යටතේ දී පෙනී යන්නේ කිසිදු පක්ෂයකට පකිස්ථාන ඉදිරි ගමන තකා තනි ගමනක් නොමැති බවයි. පකිස්ථාන නව රජයක් පිහිටුවීමට නම් පක්ෂ කිහිපයක් එක් වීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇත. මෙවැනි තීරණාත්මක තත්ත්වයක පකිස්ථානයේ දේශපාලන ඉදිරි ගමන් මඟ කෙසේවේදැයි පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!