මාස කිහිපයක් අමෙරිකා එක්සත් ජනපදයට වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ දිවයිනට පැමිණීමත් සමග කතා බහ රැසක් මතුව තිබෙනවා.
ඔහු දිවයිනට පැමිණියේ එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන්.
එහි දී බැසිල් රාජපක්ෂ මහතාව පිළිගන්න අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක ගුවන්යානයට ම ගොස් තිබුණු බවයි ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
කෙසේ නමුත් මෙම තිදෙනා ම ගුවන් යානය වෙතට ගියත්, අනතුරුව රාජ්‍ය ඇමති ඩී.වී චානක හා මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන බැසිල්ගෙන් සමුගෙන අනෙකුත් මන්ත්‍රීවරුන් රැඳී සිටි ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයට පැමිණ තිබෙනවා.
එහෙත් මේ දිනවල වත්මන් ජනාධිපතිවරයාගේ ගුණ වයමින් ඉන්න අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, බැසිල් රාජපක්ෂ මහතා සමග කෙටි සාකච්ඡාවක නිරත වී තිබෙන බවයි එම ආරංචි මාර්ග අප වෙත වාර්තා කළේ.
නමුත් එහි දී ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා වූයේ මොනවා ද යන්න වාර්තා වී නැහැ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා ගුණවර්ධන, මහාචාර්ය රංජිත් බණ්ඩාර, සහන් ප්‍රදීප් විතාන, ජයන්ත කැටගොඩ, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු, තිස්සකුට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් 25ට ආසන් පිරිසක් බැසිල් රාජපක්ෂ මහතාව පිළිගුනීම සඳහා ඒ වනවිටත් ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයේ රැඳී සිටි බවයි ශ්‍රී ලංකා නිවුස් අපට වාර්තා වුණේ.