බටහිර ඉන්දියාවේ විශාල පිපිරීමක් – මළ සිරුරු හඳුනාගන්න DNA පරීක්ෂණ

බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි රසායනික කම්හලක ඊයේ (23) විශාල පිපිරීමක් සිදුව තිබෙනවා.

පිපිරීමත් සමඟ ගින්නක් ඇති වූ බවත් එයින් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම සිදුවීමෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි තරම් පිලිස්සී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මළ සිරුරු හඳුනාගැනීමට උපකාර වන DNA සාම්පල ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් ලබාගෙන විමර්ශන සිදුකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහා ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ මෙම පිපිරීමෙන් සහ ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් රැසක් බේරාගෙන ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීමට කටයුතු යොදා ඇති බවයි.

පිපිරීමේ ශබ්දය කිලෝමීටරයක් ​​පමණ ඈතට ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තාවන්ගේ සඳහන්.

මෙම පිපිරීම කෙතරම් ප්‍රබලද යත් එම නගරයේ තිබූ වෙනත් කර්මාන්තශාලාවලට සහ අසල තිබූ නිවාසවලට ද දැඩි හානි සිදු වී තිබෙනවා. එමෙන්ම පිපිරීම සිදු වූ ස්ථානයේ විශාල ආවාටයක් ඉතිරි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉහළ ප්‍රතික්‍රියාශීලී රසායනික ද්‍රව්‍ය භාවිත කළ කර්මාන්ත ශාලාවේ හිමිකරුවන්ට එරෙහිව විෂ ද්‍රව්‍ය හැසිරවීමේ නොසැලකිල්ල ඇතුළු සාපරාධී මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පොලිසිය චෝදනා ගොනු කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!