ප්‍රාණ ඇපයට ගත් දරුවන් බේරා ගැනීමේ STF මෙහෙයුමේ දී හෙළි වූ තොරතුරු මෙන්න

අත්බෝම්බයක් සහිතව දරු දෙදෙනා ප්‍රාණ ඇප‍යට ගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ හංවැල්ල – ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ රැදී සිට ඇති තම බිරිඳ ඝාතනය කිරීම සඳහා මෙම පුද්ගලයා අත්බීම්බයක් රැගෙන නිවස වෙත පැමිණ තිබෙනවා.

කලක් විදේශගතව සිට ඇති මෙම සැකකරු කෙටි කාලයකට මෙරටට පැමිණ තිබෙනවා. අඹුසැමි ආරවුල් හේතුවෙන් මෙම අදාළ සැකකරුගේ බිරිඳ වෙනත් පුද්ගලයෙකු සහ දරු දෙදෙනා සමග එම නිවාස සංකීර්ණයේ ජීවත් වී තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහනය කරන සමාගමක නියෝජිතයෙකු ලෙස කියමින් මෙම සැකකරු අදාළ නිවාස සංකීර්ණයේ නිවාස කිහිපයකටම ගොස් ඇති අතර එම අවස්ථාවේ දී ඔහු තම දරුවන් දෙදෙනා එක් නිවසක මිදුලේ සෙල්ලම් කරමින් සිටිනු දැක තිබෙනවා. පසුව සැකකරුගේ බිරිඳ සිටින නිවස තුළට ඇතුළු වී ඇයව ඝාතනය කිරීමටයි ඔහු උත්සාහ ගෙන තිබෙන්නේ.

එම අවස්ථාවේ දී කාන්තාව නිවසින් පළාගොස් ඇති අතර අදාළ පුද්ගලයා අත් බෝම්බයක් ඇතැතිව දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.

සැකකරු තම බිරිඳට දුරකථන ඇමතුමක් දී, උඹ යළි නොපැමිණියහොත් දරු දෙදෙනා සමග අත්බෝම්බය පුපුරවා ගන්නා බවට පවසමින් තර්ජනය කර ඇත්තේ ඉන් අනතුරුවයි.

සිය පියාගේ ප්‍රකෝපකාරී හැසිරීම දැකීමෙන් දරුවන් දෙදෙනා කලබල වී කෑගසා ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන තිබුණේ අවුරුදු 10ක දැරියක් සහ වයස අවුරුදු 2ක පිරිමි දරුවෙක්.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බිරිඳ හංවැල්ල පොලිසියට දැනුවත් කර ඇති අතර අනතුරුව ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදුකළ පැය 9ක මෙහෙයුමකින් පසුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!