නාගරික සංවර්ධන අධිකාරිය විහාරමහාදේවී උද්‍යානයේ අයිතිය අතහරී.

විහාරමහා දේවි උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගියදා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේදී මෙම උද්‍යානය නූතන ලෝකයට ගැලපෙන පරිදි නවීකරණය කිරීමට කටයුතු කළේය.

ඒ අනුව එතෙක් කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහා දේවි උද්‍යානය 2011 වසරේදී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගනු ලැබිණ. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කළ කොළඹ අගනගර ආශ්‍රිත නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විහාරමහා දේවි උද්‍යානය නවීකරණය කර 2013 වසරේදී විවෘත කරන ලදී.

විහාරමහා දේවි උද්‍යාන භූමිය අක්කර 50ට ආසන්නය.කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයට අයත් අක්කර සියයක් වූ මේ භූමිභාගය 1866 දී කොළඹ නගර සභාව විසින් එවක යටත්විජිත භාර ලේකම්වරයාගෙන් ලබාගන්නා ලද්දක් බවත්, පසු කාලීනව එය නගරවාසීන්ට විවේකය හා විනෝදය ගෙන දෙන උද්‍යානයක් ලෙස ඉඳි වූ බවත් කියැවේ.

කොළඹ ධර්මපාල මාවත, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, ඇල්බට් චන්ද්‍රවංකය, ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවත යනාදියට මායිම්ව පිහිටි මේ උද්‍යානය එවකට ‘සර්කියුලර් ගාර්ඩ්න්’ ලෙස හඳුන්වා තිබේ. මේ ඉඩම් කට්ටිය එදා කොළඹ නගර සභාව විසින් නගරාධිපති සර්කියුලස් වෙතින් ලබා ගැනීම නිසා මෙනමින් හැඳින්වූ බව පෙනේ. ඉන් කලකට පසුව එනම් 1887 දී බ්‍රිතානයේ වික්ටෝරියා රැජිනගේ “ස්වර්ණ ජයන්තිය” නිමිත්තෙන් මේ උද්‍යානය වික්ටෝරියා උද්‍යානය (Victoria park) ලෙසින් නම් කරන ලදී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *