දේශබන්දුට විශ්වවිද්‍යාල ආචාරයවරුන් හරස් වෙයි

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම හෙළා දකිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (FUTA) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කියා සිටින්නේ, දේශබන්දු තෙන්නකෝන් මහතාව මෙරට පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමේ දී අනුගමනය කළ ක්‍රියාවලිය සම්බන්ධයෙන්, ගැටලුවක් පවතින අතර ම එය මෙරට නීතියේ ස්වාධීනත්වය පිළිබඳවද බරපතළ ගැටලුවක් මතු කරන බවයි.

එමෙන්ම, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඉතිහාසය දෙස බැලූ විට ඔහු ශ්‍රී ලංකා පොලීසියේ නායකත්වය දැරීමට කෙතරම් යෝග්‍යද යන්න සම්බන්ධයෙන් සැකයක් මතු වන බවත් එම නිවේදනයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

ඔවුන් අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පවසන්නේ, 2023 වසරේ දී සැකකරුවෙකුට වධ හිංසා පමුණුවීම සම්බන්ධයෙන් සහ දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා වරදකරුවෙකු ලෙස හඳුනා ගෙන තිබීම ඔහු පොලිස්පති තනතුරට නුසුදුසු පුද්ගලයෙකු බව සනාථ කරන පැහැදිලි නිදර්ශනයක් බවයි.

තව ද 2022 මැයි මාසයේ දී ගාලුමුවදොර විරෝධතා භූමියට එල්ල වූ ප්‍රචණ්ඩ ප්‍රහාරයේ දී, ඔහු රජයට සම්බන්ධ මැර කල්ලි සමඟ කුප්‍රකට ලෙස සහයෝගයෙන් කටයුතු කළ බව පැහැදිලි වී ඇති පසුබිමක විවිධ සිවිල් සංවිධානවල විරෝධතා නොතකා පසුව ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සහ වර්තමානයේ දී ඔහු පොලිස්පතිවරයා ලෙස පත් කිරීම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය අතර පවතින කුමන්ත්‍රණකාරී ප්‍රවණතාවයක් සම්බන්ධයෙන් සැක මතු කරන බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මෙම නිවේදනයේ සඳහන් කරනවා.

ඒ අනුව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම වහාම අවලංගු කරන ලෙසත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා අනාගතයේ දී ලබා දීමට නියමිත පත්වීම් ස්ථාපිත ව්‍යවස්ථාපිත ක්‍රියා පටිපාටිවලට සහ කුසලතා මත පදනම් වූ නිර්ණායකයන්ට අනුව සිදු කරන බවට සහතික වන ලෙසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!