ජූලී චංග් ගේ කට වසන්නට පාර්ලිමේන්තු කාරක සභාවක් නිර්දේශ කරයි.

මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලී චංග්ට දැනුම් දීමට ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ. මෙම නිර්දේශය 2022 මැයි 9 වන දින සිදු වූ සිදුවීම්වලින් පසුව තානාපතිනිය සිදුකළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වීමකි.

ජාතික ආරක්‍ෂාවට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා කමිටු සාමාජිකයන්, ආරක්‍ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ කමිටුව පසුගිය සතියේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙනෙ තිබේ.

ඇමරිකානු තානාපතිනියගේ හැසිරීම පිළිබඳ සිය කනස්සල්ල පලකරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරනා ආරක්ෂක ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇමරිකානු තානාපතිනියගේ මෙම මැදිහත්වීම වියානා සම්මුතිය උල්ලංඝනය කිරිමක් ලෙස දක්වයි.

නිරායුධ විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් සිදු කරන ලෙස තානාපතිවරයා පැවසූවද ටයර් පුළුස්සා දැමීම, අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග අවහිර කිරීම, ඉන්ධන පිරවුම්හල් විනාශ කිරීම, තෙල් බවුසර් ටයර් කැපීම, පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම වැනි ක්‍රියා විරෝධතාවක් ද එසේත් නැතිනම් සාමකාමී ක්‍රියාවක් ද යන්න වැඩිහිටියෙකු වූ තානාපතිනියට අවබෝධවිය යුතු බව පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *