චීවරධාරියෙකුට එරෙහිව කටයුතු කරන්නැයි මහනායකහිමිවරු ජනපතිගෙන් ඉල්ලයි

බුදුදහම විකෘති කරමින් රටපුරා මිත්‍යා දෘෂ්ඨික මත ගෙනයන මීවනපලානේ සිරි ධම්මාලංකාර නැමැති චීවරධාරියාට එරෙහිව කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරු ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි, අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහනායක පූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි හිමි ඇතුළු මහනායක හිමිවරු රැසක් විසිනුයි මෙම ඉල්ලීම කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් වන ඉල්ලීමේ පිටපත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, නීතිපති සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන්ට ද යොමු කර ඊට මැදිහත්වන ලෙසයි අදාළ මහනායක හිමිවරුන් ඉල්ලා සිටින්නේ.

මේ අතර පසුගියදා (05ද) ශාසනමාමක භික්ෂු එකමුතුව කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ලිපිය සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර, රජය සහ වගකිව යුතු බලධාරීන් වහාම මැදිහත්ව නීතිය ක්‍රියාත්මක කරන්නැයිද ඉල්ලීමක් කළා.