ගාසා තීරයේ ළදරුවන් ඝාතනය කිරීම නැවැත්විය යුතුයි – කැනඩා අගමැතිගේ ප්‍රකාශයට නෙතන්යාහු ගෙන් දැඩි පිළිතුරක්

ගාසා තීරයේ “කාන්තාවන්, දරුවන් සහ ළදරුවන් ඝාතනය කිරීම” පිළිබඳ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ ප්‍රකාශයට සෘජු ප්‍රතිචාරයක් දක්වමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනුයේ වගවිය යුත්තේ හමාස් සංවිධානය මිස ඊශ්‍රායලය නොවන බවයි.

සිවිල් වැසියන්ට හිතාමතාම ඉලක්ක කරන්නේ ඊශ්‍රායලය නොවන බවත් හමාස් සංවිධානය සිවිල් වැසියන්ගේ හිස ගසා දමා, පුළුස්සා මරා දැමූ බවත්’ ඔක්තෝබර් 7 ප්‍රහාරය ගැන සඳහන් කරමින් අගමැති නෙතන්යාහු සිය X ගිණුමේ අද උදෑසන සටහනක් තබා ඇත.

“ඊශ්‍රායලය සිවිල් වැසියන්ට හානියක් නොවන ආකාරයෙන් සිය මෙහෙයුම් කිරිමට සෑම විටම කටයුතු කරනා මුත්, හමාස් සටන්කාමීන් ඔවුන්ව අනතුරේ හෙළීමට සෑම දෙයක්ම කරයි,” නෙතන්නියාහු සිය X පණිවිඩයේ සඳහන් කර ඇත.

ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය කොරිඩෝ සහ ආරක්‍ෂිත කළාප ඔස්සේ සිවිල් වැසියන්ට පිටවීමට ඉඩකඩ ලබා දෙන බවත්, හමාස් සංවිධානය විසින් ජනතාව බියගන්වා පිටව යාම වළක්වන බව ද මෙහි දී ඔහු සඳහන් කර ඇත.

“සිවිල් වැසියන් පිටුපස සැඟවී සිටිමින් සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ද්විත්ව යුද අපරාධයක් සිදු කිරීම සම්බන්ධයෙන් වග කිව යුත්තේ ඊශ්‍රායලය නොව හමාස් වරුන් ය. හමාස් ම්ලේච්ඡත්වය පරාජය කිරීමට ශිෂ්ටාචාරයේ බලවේග ඊශ්‍රායලයට සහාය විය යුතුය.” ඊශ්‍රායල් අගමැතිවරයා පවසයි.

“මම ඊශ්‍රායල රජයෙන් ඉල්ලා සිටින්නේ උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසයි. ලෝකය රූපවාහිනියෙන්, සමාජ මාධ්‍ය ඔස්සේ නරඹමින් සිටිනවා, වෛද්‍යවරුන්, පවුලේ සාමාජිකයන්, දිවි ගලවා ගත් අය, දෙමාපියන් අහිමි වූ දරුවන්ගේ සාක්ෂි අපට අසන්නට ලැබෙනවා” ටෘඩෝ බ්‍රිටිෂ් කොලොම්බියාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ ප්‍රකාශය සිදු වූයේ ලෝකයේ වැඩිම ජන ඝනත්වයක් සහිත ගාසා තිරයේ තත්ත්වය පිළිබඳව ගෝලීය වශයෙන් වැඩෙන දැඩි කනස්සල්ල මධ්‍යයේ ය. හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයෙන් දැනටමත් ගාසා තීරයේ 11,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිලියන 1.5කට අධික ජනතාවක් අවතැන්ව සිටිති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!