බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 100 ඉක්මවනා බවත්, නෙරොච්චෝලේ ලක්විජය බලාගාරය ඉදි කිරීමෙන් පසු මෙවැනි විශාල පාඩුවක් සිදු වූ පළමු අවස්ථාව මෙය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක පැවසීය .
අද දිනයේ විවාදයට ගැනීමට නියමිත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය .
වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මෙසේ පැවසීය .
“විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා, අමතර ගල් අඟුරු සඳහා පමණක් රුපියල් කෝටි 220 ක් වැය වෙනවා කියලා.ඊට අමතරව එම වාර්තාවේ තිබෙනවා, ගල් අඟුරු නැව් නමයෙන් යුනිට් මිලියන 141 ක් අහිමි වෙනවා කියලා. එතකොට මේ යුනිට් මිලියන 141නිෂ්පාදනය කරන්න වෙන්නේ ඩීසල්වලින්.
දැන් ඩීසල් මිල ඉහළ ගොස් තිබෙනවා. එතකොට ඩීසල්වලින් මේ අවස්ථාවේදී යුනිට් එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 125 ක් වැය වෙනවා. එම යුනිට් ගණන යුනිට් මිලියන 141 න් වැඩිවුණාම ඒ සඳහා පමණක් රුපියල් බිලියන 11 කට වඩා වැඩි වියදමක් දරන්න වෙනවා .
ජුලි මාසයේ ගල් අඟුරු හිඟයක් එනවා . එතකොට නොරොච්චෝලෙන් අහිමිවන විදුලිය ඩීසල් වලින් තමා ජනනය කරන්න වෙන්නේ . විදුලි කප්පාදුවකුත් සිදු කරන්න වෙනවා. මෙම ගල් අඟුරු ටෙන්ඩරය අන්ත දූෂිතයි කියලා අපි මුල ඉඳලම කිව්වා. නමුත් ජනාධිපතිවරයා, බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඇතුළු ආණ්ඩුව ඒක වහන්න තමයි හැමවිටම කටයුතු කළේ. මෙම ගල් අඟුරු මගඩිය වහන්න ආණ්ඩුව ලබැඳියාවන් 7ක් ඔස්සේ කටයුතු කරලා තියෙනවා.නව විගනකාධිපතිවරයගේ වාර්තාවෙනුත් කියන්නේ මෙම ගල් අඟුරු ටෙන්ඩරය අන්ත දූෂිතයි කියලා…”