කුහක දේශපාලන මතධාරීන් අපේ රට ගැන බොරු කියනවා – ඇමති මනුෂ

මේ රට ගොඩනගන්න වැඩපිළිවෙළ ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරනකොට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ විදෙස්ගත ශ්‍රමිකයෝ බවත් ඔවුන් නිසා රටේ තිබුණ බොහෝ අස්ථාවර තත්ත්වයන්ට විසඳුම් සොයා ගැනීමට හැකි වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (17) නුවරඑළියේ පැවැත්වෙන “ජයගමු ශ්‍රී ලංකා” ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින්.

වතුකම්කරුවන්ගේ වැටුප පිළිබඳව ද අමාත්‍යවරයා ඒ අවස්ථාවේ අදහස් පළ කළා.

රට ගොඩනගන්න වතුකම්කරුවන්ගෙන් ලැබුණ දායකත්වය අමතක කළ නොහැකි බවත් වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව නිවේදනය කළ පසු එය ක්‍රියාත්මක කළ නොහැකි බව පවසමින් බොහෝ විරෝධතා ඉදිරිපත් වූ බවත් අමාත්‍යවරයා හෙළි කළා.

නමුත් කොතරම් විරෝධතා පැවතියත්, වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම නුවරඑළියේ පවතින ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ වැඩිදියුණු කිරීමට “ස්මාර්ට් කෘෂිකාර්මික” ප්‍රතිසංස්කරණ සහිත වැඩපිළිවෙළක් නුවරඑළියට හඳුන්වාදෙමින් පවතින බවත් එවැනි තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් මුළු රටටම අවශ්‍ය කෘෂිකාර්මික බෝග රැසක් සපයන දියුණු ප්‍රදේශයක් බවට නුවරඑළිය පත් කිරීමට හැකිවන බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නා.

මනුෂ නානායක්කාර මහතා මෙලෙස තවදුරටත් අදහස් එක් කළා.

“කැරට් අලෙන් ආණ්ඩුව වෙනස් කරන්නත් සමහරු පසුගිය කාලයේ උත්සාහ ගත්තා. දැන් බලනවා දෙහි ගෙඩියෙන් ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් ද කියලා. ලූණු ගෙඩියේ මිල නගිනකොට රට ආපස්සට ගෙනියන්න ඉන්දියාවේ වීඩියෝ ගෙනල්ලා මෙහේ පෙන්නවා. අපේ මිනිස්සුත් නොදන්නකමට ඒ වීඩියෝ ෂෙයාර් කරනවා.

මම දේශපාලනයට ආවේ ආරුමුගන් තොණ්ඩමන් මැතිතුමාගේ මාධ්‍ය ලේකම් විදියට. මම පක්ෂ ගොඩකට ගිහින් තියෙනවා. දකුණු පළාත් සභාවේ පළවෙනි CWC member විදියට දකුණු පළාත් සභාවෙන් දේශපාලනය පටන් ගෙන මේ හුරුපුරුදු නුවරඑළියට මම ඇවිත් කතා කරන්නේ කම්කරු විෂයභාර කැබිනට් අමාත්‍යවරයා විදියට.

කයිවාරුකාරයෝ කෑගහනවා මේ රට හැත්තෑපස් අවුරුදු සාපයකට ලක් වුණා කියලා. මේ රටේ හැමතැනකම පොඩි මිනිහට උඩට එන්න අවකාශය දුන්නේ මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව නිසා.

පුංචි මිනිස්සුන්ට මේ රටේ ඉහළම පුටුවලට එන්න පුළුවන්කම ලැබුණේ ඒ නිසා. අපි වගේ ගමේ හැදුණ සාමාන්‍ය මනුෂයෙකුට කැබිනට් පුටුවකට එන්න මේ දේශපාලන ක්‍රමය ඇතුළේ ඉඩකඩ ලැබිලා තියෙනවා.

හෙට දවසේ මෙතන ඉන්න තරුණයෙකුට පුළුවන් මේ රටේ ජනාධිපතිවරයා වෙන්න. ඒකට පසුබිම අපේ රට ඇතුලේ තියෙනවා. හැත්තෑපස් අවුරුද්දක සාපය කිය කිය වෛරය වැපිරුවත් බිම ඉන්න ඕනම කෙනෙක්ට නැගිටලා ඉස්සරහට එන්න පුළුවන් පසුබිම මේ රට අතුළේ තියෙනවා.

හැත්තෑපස් අවුරුද්දක සාපය කියලා ඇතැමුන් බැන්නත් හැත්තෑපස් අවුරුද්දකට පෙර මේ රට තිබුණේ කොතනද කියලත් අමතක කරන්න හොඳ නැහැ. මේ රටේ කොයි තරම් නම් වෙනසක් ඇති වෙලාද කියලා කල්පනා කරන්න කියලත් මම මතක් කරනවා.

කුහක දේශපාලන මතධාරී, කිසිමදේක හොඳක් දකින්නෙ නැති පුද්ගලයන් අපේ රට ගැන බොරු කිය කිය මේ රට වට්ටවන්න උත්සාහ කරනවා. මේ රට සංවර්ධනය වෙන්නේ නැහැ කිය කිය, අඩුපාඩු විතරක් ලෝකයට පෙන්වාදෙන්න උත්සාහ කරනවා.

සංචාරක ගමනාන්තය විදියට යා යුතුම රටක් හැටියට ලෝකය විසින් ශ්‍රී ලංකාව පෙන්වාදෙන කොට ඒකට හිනා වෙන පිරිස් ඉන්නවා. කාන්තාවකට පවා තනියම ගමන් කළ හැකි හොඳම ගමනාන්තයක් සහිත රටක් විදියට ශ්‍රී ලංකාව නම් කරන කොට අපේ මිනිස්සු මෙහේ ඉඳන් ෆේස්බුක් එකේ ෂෙයාර් කරනවා ඒක එහෙම නෑ කියලා.

අපේ රට වට්ටවන්න හදන කණ්ඩායමේ මතවාද තමයි ඒ විදියට ෆේස්බුක් එකෙනුත් පේන්න තියෙන්නේ.

රටට සල්ලි එවන්න එපා කියලා නැවත වතාවක් රට වට්ටවන්න හඳුන්නෙත්තිලා, අනුර කුමාරලා උත්සාහ ගත්තා. බය නැතුව නම කියලා කියන්නේ ඔවුන් එහෙම කිව්ව නිසා. හැබැයි හඳුන්නෙත්තිලා, අනුර කුමාරලා කියන දේ අහන්නේ නැතුව මේ රටට සල්ලි එව්වා. මේ රට ගොඩනගන්න, මේ රටට සල්ලි එව්වේ මේ ඉන්න අම්මලා තාත්තලා.

තවදුරටත් මේ රට ගැන මන්තරේ වගේ බොරු කියලා, රට වට්ටවන්න තව තව උත්සාහ කරන්නේ නැතුව, රට ඉදිරියට ගෙනියන ගමනට හැමෝම එකට එක් විය යුතු කාලයයි මේ එළඹිලා තියෙන්නේ.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!