ක්ෂීර සාගරය වෙරළේ සිට

මිනිසා තාක්ෂණික අතින් කෙතරම් දියුණු වුවද මානසික සහ ආධ්‍යාත්මික දියුණුවද ඊට සාපේක්ෂව දියුණු විය යුතුය. නැතිනම් ඩිජිටල්කරණය වූ ලෝකය තුළ මිනිසා අතරමං වනු ඇත.

මිනිසාගේ මානසික සුවය උදෙසා කලාව මහඟු සේවාවක් සපයයි. චිත්‍ර, කැටයම්, මූර්ති,කවි සහ සංගීතය, නවකතා කෙටිකතා මෙන්ම ලොව බිහි වූ අවසාන ලලිත කලාව ලෙස හැඳින්විය හැකි “සිනමාව” ද මිනිසාගේ මානසික රසවින්දනය උදෙසා විශාල දායකත්වයක් සපයයි.

ලෝක සිනමා කර්මාන්තයට සාපේක්ෂව ලංකාවේ සිනමාව මන්දගාමී ස්වරූපයක් ගත්තද මෙරට ඇතැම් නිර්මාණ තුළ අපූර්ව වූ කලා රසයන් ඇතුළත් බව අමතක නොකළ යුතුය.

ඒ අතර සිනමාවට අමුත්තෙකු නොවන, සිනමා සම්මානිත, මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ ‘ක්ෂීර සාගරය කැලඹේ” චිත්‍රපටයේ රසබර කතාව අපි සොයා බලමු.

ක්ෂීර සාගරය කැලඹේ චිත්‍රපටයෙහි තිර රචනය සයිමන් නවගත්තේගම සාහිත්‍යධරයාගේ “ක්ෂීර සාගරය කැලඹේ” නමින් වූ නවකතාව පසුබිම් වී ඇත. එසේ වූවද නවකතාවෙන් වියුක්තව චිත්‍රපටයක් ලෙස රස විඳීමට හැකි අයුරින් නිර්මාණය කිරීමට සුනිල් ආරියරත්න සමත් වී ඇත. චිත්‍රපටයේ තිර රචනය හා අධ්‍යක්ෂණය විසින් කතා තේමාවෙහි හරය හඳුනාගෙන අපූර්ව නළුවරණයක් ඔස්සේ ප්‍රේක්ෂක මනසට සමීප, කාලීන සමාජ දේශපාලන සංසිද්ධීන් ප්‍රතිනිර්මාණ කර ඇත.

මෙම චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ආරියරත්න සතු ප්‍රතිභාව ඔහුගේ මෑත කාලීන කෘති සියල්ලෙන් මනාව හඳුනාගත හැකිය.

1978 දී අනූපමාගෙන් ඇරඹෙන සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂ භුමිකාව 2023 “ක්ෂීර සාගරය කැලඹේ” දක්වා නිර්මාණ 25කට ආසන්න සංඛ්‍යාවක් දක්වා විහිදී ඇති බව පෙනේ. ඒ අතර, සරුංගලේ, සිරිබෝ අයියා, පොඩි මල්ලි,සුදු සෙවණැලි, යසෝදරා වැනි සිනමාරූපී චිත්‍රපට මෙන්ම, අලි කතාව, විජයබා කොල්ලය වැනි නිර්මාණ ඔහු අතින් නිම විය.

මෙම නිර්මාණ අධ්‍යක්ෂ භුමිකාවෙහි ඔහුගේ පරිණත බව හා සිනමා රීතීන් තුළ ප්‍රශස්ථ නිර්මාණ ප්‍රේක්ෂකයා වෙත තිළිණ කිරීමට ඔහු ගන්නා උත්සාහය මනරම්ය. ඒ අතර ක්ෂීර සාගරය කැලඹේය සිනමා සිත්තම නැරඹිය යුතුම ගණයේ නිර්මාණයකි.

ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, ලූෂන් බුලත්සිංහල, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ගිහාන් ප්‍රනාන්දු, රවීන් කණිෂ්ක, වසන්ත කුමාරවිල, ප්‍රියංකා සමරවීර, අනුර බණ්ඩාර රාජගුරු, ජගත් බෙනරගම, හරිනි කාව්‍යාංජනී ආදීන් රංගනයෙන් දායක වන මෙහි සහාය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය, කැමරාවෙන් චන්න දේශප්‍රිය, අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය, රෝහණ වීරසිංහ, සංස්කරණයෙන් අජිත් රාමනායක, නර්තන අධ්‍යක්ෂණයෙන් කපිල පලිහවඩන, සටන් අධ්‍යක්ෂණයෙන් ඔසඳ සමන් බණ්ඩාර, ගැයුමෙන් ආචාර්ය නන්දා මාලිනී, නිෂ්පාදන කළමනාකරණයෙන් නිමල් විජේසිරි සේනාධීර, නිෂ්පාදන අධීක්ෂණයෙන් ඒ.ඩී රංජිත් කුමාර, නිශ්චල ඡායාරූපකරණයෙන් ධම්මික පතිරත්න ආදීන් එක්වන මෙහි නිෂ්පාදනය එච්. ඩී ප්‍රේමසිරිය. සම නිෂ්පාදනයෙන් කුමුදුනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී සහ චාන්දි හපුතන්ත්‍රී එක් වෙති.

චිත්‍රපටයක සාර්ථකත්වය සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් ලැබෙන තවත් අංගයක් වෙයි. එනම් නළුවරණයයි. චිත්‍රපටයකට රංගන දායකත්වය සපයන නළු නිළි පිරිස කෙතරම් විශිෂ්ට වූවත් අධ්‍යක්ෂකගේ භූමිකාව ඔස්සේ ඔවුන් ගොනු කරන්නට හැකිවන්නේ මනා ශික්ෂණයකින් යුතුව එම පිරිසෙහි ශක්‍යතා උකහාගැනීමට සමත් වුවහොත් පමණි. මෙහිදී සුනිල් ආරියරත්න විසින් තමාගේ දීර්ඝකාලීන පරිචය තුළින් අපූරු සිනමා අත්දැකීමක් කරා ප්‍රේක්ෂකයා කැඳවාගෙන යන්නට සමත් වී ඇත.

කිරි සයුර නම් මහා මේරු පර්වතයෙන් ප්‍රාචීන දිශාවෙහි හෙවත් පෙරදිග පැත්තෙහි පිහිටි සාගරයය. පර්වතයේ ඒ පැත්ත රන්වන් වී ඇත. ඉන් නික්මෙන කැල්ම සයුරට ද වැද එය ද ශ්වේත වර්ණයෙන් බබලන බැවින් ඊට ක්ෂීර සාගරය හෙවත් කිරි සයුරය කියත්. ගුත්තිල කාව්‍ය වර්ණනාවේ 61 කවිය සිය පුරාණෝක්ති සංග්‍රහයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝ මෙසේ උපුටා දක්වති. කිරිමුහුද කලඹන විට අමෘතය මතුවිණ. සී දේවිය ඉපැදිණ. තව බොහෝ දෑ සිදුවිණ. ඒ ක්ෂීර සාගරය කැලඹීම, සුරඅසුර යුද්ධය ද සයිමන් නවගත්තේගම සිය පරිකල්පනය මෙහෙයවා අපූර්ව නවකථාවක් ලෙසින් රචනා කොට පළ කළේ 1990 දීය. දෙවන මුද්‍රණය 2005ත් තුන්වන මුද්‍රණය 2012 පළ විය. එදවස තරුණ පරපුර විසින් ක්ෂීර සාගරය කැළඹිණ කෘතිය දැඩි රුචියෙන් කියවන ලදී. වර්තමාන පරපුරට නවකතාව ද කියවිය හැකිය, එහි එන චරිත ඇසින් දැක බලා රස විඳීමේ හැකියාව ද උදා වී ඇත.

ක්ෂීර සාගරය කැලඹේ සිනමාපටය තුළ දිගහැරෙන අධිරාජයාට එරෙහි අධිරාජයා අප දැක ඇති, කියවා ඇති අධිරාජයකු ලෙස සිතන්නට පෙලඹවීමක් කරන අතරම සයිමන් නවගත්තේගමගේ නවකතාවෙහි නිරූපිත අරගලය අපට ආගන්තුක නොවන්නක් බවත්, අඩු වැඩි වශයෙන් එවන් අරගල අත්දැකීම් අපගේ ජීවිත හා බද්ධව තිබූ බවත් සිහියට නංවයි. එමෙන්ම කාලීන සමාජ දේශපාලන සංසිද්ධීන් ඉතා සියුම් ලෙස විවරණය කරමින් ප්‍රතිනිර්මාණ කිරීමට අධ්‍යක්ෂවරයා සමත් වී ඇත.

සැබැවින්ම ක්ෂීර සාගරය කැලඹේ යනු මෑත කාලීන සිංහල සිනමාවෙහි දක්නට ලැබුණු සිනමාත්මක හා කලාත්මක නිර්මාණයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *