ක්‍රීඩා සම්මේලන නියාමනය කරන්නේ රටට පදක්කම් ගේන්න

නියමිත පරිදි ක්‍රීඩා සංගම් නියාමනය කරන්නේ නම් කුසලාන, පදක්කම් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි යැයි ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. ක්‍රීඩාවට වෙන් කරන මුදල් ක්‍රීඩාවේ උන්නතිය උදෙසාම යොදවන්නේ නම් ගම්වල සිටින දක්ෂ දරුවන් ඉදිරියට යොමු කිරීමේ හැකියාව පවතින බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

මහනුවරට පැමිණි ක්‍රීඩා අමාත්‍යවරයා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැක උන් වහන්සේ හමුවේ මේ බව සඳහන් කළේය.

මෙම වර්ෂය තුළදී දක්ෂ කණ්ඩායම් හදුනා ගැනීමක් කළ බව ද අමාත්‍යවරයා කීවේය. ඒ යටතේ විවිධ ක්‍රීඩා ඉසව් තුළින් පදක්කම්, කුලසාන 170ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගැනීමට හැකිවූ බවද ඔහු පැවසීය.

ගම්මානවල ක්‍රීඩාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කොට ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා දිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මොරගහකන්ද ජලාශයේ සිට අනුරාධපුරය දක්වා ජලය ප්‍රවාහනය කරන උමඟේ ඉදිකිරිම් ඉකුත්දා ආරම්භ කළ බවත් පසුගිය සමයේදී පැවැති ආර්ථීක අර්බුද හේතුවෙන් එය තාවකාලිකව නවතා දැමූ බවත් ඔහු කීවේය. නමුත් ආර්ථීකයට වැදගත්වන සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමත් සමඟ එම ඉදිකිරීම් ආරම්භ කළ බව ද ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ වැඩිදුරටත් පැවසීය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!