කටුනායක ගුවන්තොටුපලේ ඇති වූ කලබලයේ ඇත්ත තත්ත්වය මෙන්න

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදු වූ ප්‍රමාදයන් නිසා ඊයේ (01) උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණා.

මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඊයේ සිට විදෙස් සමාගමක් වෙත පවරා දීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබුණා.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ඔන්ලයින් වීසා පහසුකම අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින්.

එමගින් සාක් රටවල සංචාරකයින් සඳහා දින 30ක විසා ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 20ක මුදලකුත් අනෙක් රටවල
සංචාරකයන් සඳහා ඩොලර් 50ක මුදලක් ද අය කරනු ලැබුවා. එම ආදායම සම්පූර්ණයෙන්ම හිමි වුණේ ශ්‍රී ලංකාවටයි.

ඉතා කෙටි කාලයක් තුළ ON ARRIVAL VISA පහසුකම සංචාරකයින් වෙත ලබාදීමට ද පහසුකම් සලසා තිබුණා.

නමුත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට ඉන්දීය සමාගමකට ලබාදීමට මීට දින දෙකකට පෙර රජය තීරණය කර තිබුණා.

ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් මෙතෙක් අය කර නොගත් සේවා ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක් ද මෙම ඉන්දීය සමාගම හරහා වීසා ලබාදීමේ දී අයකරනු ලබන බව වාර්තා වෙනවා.

ඒ අනුව සාක් රටවල සංචාරකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් අමෙරිකානු ඩොලර් 22ක මුදලක් ද වෙනත් රටවල සංචාරකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් ඩොලර් 25ක මුදලක් ද එම සමාගම විසින් අයකර ගනු ලබනවා.

එමෙන්ම මින්පෙර මෙරටට පැමිණීමේ දී වීසා ගාස්තුවෙන් නිදහස් කර තිබූ ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු රටවල් 7ක සංචාරකයින්ගෙන් ද මෙම සමාගම අමෙරිකානු ඩොලර් 22ක මුදලක් අය කර ගනු ලබනවා.

මෙවන් පසුබිමක, අදාළ සමාගම මගින් වීසා නිකුත් කිරීම පමාවීම හේතුවෙන් ඊයේ සංචාරකයින් විශාල පිරිසකට පෝළිම්වල පැය ගණනක් රැඳීසිටීමට සිදු වූ අතර එහි උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති වූ බව වාර්තා වුණා.

වීඩියෝව මෙතැනින් බලන්න https://fb.watch/rP6H-vG9EF

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!