ඕඩේ ඇළ හරහා යන්න ගිය වන අලි හතක් මැරිලා – පැටවුන් පහකුත් එතැන

හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මීට දින කිහිපයකට ඉහතදී මියගිය වන අලින්ගේ සිරුරු හතක් සොයා ගත් බව වනජීවි නිලධාරීහු සහ පරිසරවේදීහු සඳහන් කරනවා.

අවුරුදු 8, 9,10 යන වයසේ අලි පැටවුන් පස් දෙනකු සහ අවුරුදු 30, 35 පමණ වයසේ පසුවන වන අලින් දෙදෙනකුගේ සිරුරු ඒ අතර වන බව ඔවුහු සඳහන් කළා.

හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළ ප්‍රදේශයේ කිලෝ මීටර් ගණනාවක් දිගට ජපන් ජබර ඇතුළු විවිධ ශාක පැළෑටි පිරී පවතින බවත් එහි ස්ථාන කිහිපයකින් මෙම අලින්ගේ සිරුරු හමු වි තිබෙන බවත් වාර්තා වනවා.

අලි හත් දෙනාගේ සිරුරු නරක් වී ඇති බව ද වනජීවි නිලධාරීහු සඳහන් කළා.

පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හඳපාංවිල විල්ලුව පිරී ඕඩේ ඇළ හරහා මහවැලි ගඟට ජලය ගලා ගොස් තිබෙනවා.

වනෝද්‍යානයේ සැරිසරන වන අලි රංචුවක් ඕඩේ ඇළ හරහා මාරුවීමට යෑමේදී ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස් ජපන් ජබර සහ පාසි තුළ එම අලි පැටවුන් සහ වන අලින් සිර වි මිය යන්නට ඇති බවට සැක කරන බව වනජීවී නිලධාරීහු සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!