ඔලිම්පික් සිහිනය වැටඋඩ – යුපුන් තරගයෙන් ඉවතට

දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී පැවැත්වෙන 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 අවසන් පූර්ව වටයට සහභාගිවූ ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් තරගය අතරමගදී ධාවනයෙන් ඉවත්වී ඇතැයි වාර්තා වනවා.

2024 පැරිස් ඔලිම්පික් ‍උළෙලට සුදුසුකම් ලබා ගැනීම සදහා ලැබුණු අවසන් අවස්ථාව ලෙසින්, ඉතාලියේ සිට පැමිණි යුපුන් අබේකෝන් දියගම තරගාවලියට සහභාගි වුණා.

ඔහු ශ්‍රී ලංකාවේදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වූයේ වසර පහකට පසුවයි.

දියගමදී පැවැත්වෙන ජාතික තරගාවලියේ මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයේ සිට තරග වැදීමේ අවස්ථාව ලබා ගත් යුපුන් ඊයේ පස්වරුවේදී පැවැති තෙවැනි අවසන් පූර්ව තරගයට ඉදිරිපත්ව තිබුණා.

එහිදී ආරම්භය ලබා ගත් යුපුන් මීටර් කීපයක් පමණක් ඉදිරියට දිව ගොස් තරගය අතරමග ඉවත් වූ අතර ධාවන පඨයේ වැතිර ප්‍රථමාධාර ලබමින් සිටිනු දක්නට ලැබුණා.

පසුගිය කාලය පුරා යුරෝපයේ රටවල් කීපයකටම ගොස් මීටර් 100 (පිරිමි) ඉසව්වේ තරග වලට සහභාගි වූ යුපුන්ගේ අරමුණ වූයේ පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමයි. එහෙත් ඒ සියල්ල අසාර්ථක වීමෙන් පසුව යුපුන් දියගමදී පැවැති ජාතික තරගාවලියට අවධානය යොමු කර සිටියා.

යුපුන් අබේකෝන් තරග වැදීමෙන් ඉවත්වීම ගැන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ පාදයක පවතින මස්පිඩු ආබාධයක් හේතුවෙන් ඔහු තරගයෙන් ඉවත්වූ බවයි.

මෙම තත්ත්වය නිසා පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ අවසන් උත්සාහය වන ඉරිදා (30) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සූදානම් කර තිබෙන විශේෂ තේරීම් තරගයට ඉදිරිපත්වීමට යුපුන් සූදානම් වන බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!