ඔබ තරග කළ යුත්තේ මිතුරා සමග නොව ඔබ සමගමයි

වෛද්‍ය සමන් වීරසිංහ පදනමෙන් පිරිනමන ශිෂ්‍යත්ව ප්‍රදානය- 2023 මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේ දී පසුගිය (27) පැවැත්විණි.

ආර්ථික අපහසුතා හේතුවෙන් දිරියක් අවැසි දරුවන් වෙනුවෙන් 2007 වසරේ පටන් අධ්‍යාපන ශිෂ්‍යත්ව 600ක් පමණ ලබා දී ඇති වෛද්‍ය සමන් වීරසිංහ පදනම මෙවර ඒ සඳහා සිසුන් 25 දෙනෙක් තෝරාගෙන තිබිණි.ඔවුන් සඳහා අඛණ්ඩව වසර දෙකක ශිෂ්‍යාධාර වැඩසටහන ක්‍රියාත්මක ය. මෙම ශිෂ්‍යත්ව 600 ඉදිරි වසර 4ක් ඇතුළත ශිෂ්‍යත්ව 1000ක් දක්වා වර්ධනය කිරීම වෛද්‍ය සමන් වීරසිංහ පදනමේ අපේක්ෂාව වී තිබේ.

මහින්ද විද්‍යාලයේ විදුහල්පති ආර්.එස්.එන් මද්දුමහේවගේ මහතාගේ අධීක්ෂණය යටතේ මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සහ ආදි ශිෂ්‍යනායක සංගමය එක්ව මෙම සද් කාර්යය සංවිධානය කර තිබිණි.

විදුහල්පති ආර්.එස්.එන් මද්දුමහේවගේ,මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් කමල් නිශාන්ත, ආදි ශිෂ්‍යනායක සංගමයේ සභාපති නලීන් පරණගම සහ මාධ්‍යවේදී රමේෂ් වරල්ලෙගම මහත්වරු උත්සව සභාව අමතා කතා කළහ.

මහින්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, ආදි ශිෂ්‍යනායක සංගමය නියෝජනය කරමින් එහි විධායක කමිටු සාමාජිකයන් හා විද්‍යාලයීය ශිෂ්‍යනායක මණ්ඩලය,ශිෂ්‍යත්වලාභී සිසුන් හා ඔවුන්ගේ දෙමාපියෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේ දී 2023 ඔක්තෝබර් 27 දින පැවැති වෛද්‍ය සමන් වීරසිංහ පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානයේ දී වෛද්‍ය සමන් වීරසිංහ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

”මහින්ද විද්‍යාලයට පැමිණීමට ලැබීම භාග්‍යයක් කොට සළකනවා. මට මතකයි යම් කාලයක මේ වගේම මේ ඕලකට් ශාලාවේ මිට වඩා අඩු පහසුකම් තියෙන අවස්ථාවක ශිෂ්‍ය සහෝදරයන් එක්ව ලබැඳියාවෙන් අපි ඉගෙන ගත්තා.

ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමා අපේ විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ආපු වෙලාවේ එදා මට ස්තුති කතාව කරන්න අවස්ථාව ලැබුණා. ඒ දවස්වල ඒක මට හිතා ගන්නත් බැරි දෙයක්. නමුත් ඊට අවුරුදු 25කට විතර පස්සේ පුළුවන් වුණා රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පූටින් මහත්මයා එක්ක කතා කරන්න.

අද මෙහි ඉන්න සිසු දරුවන්ට වැඩි දෙයක් කියන්න කියලා විදුහල්පතිතුමා මගෙන් ඉල්ලුවා. ඒ නිසා ජීවිතයේ යම් ආකාරයක සාර්ථකත්වයකට පත්වෙන්න වැදගත් කරුණු කිහිපයක් මගේ ජිවිතයට සම්බන්ධ කරලා මම මෙහි කතා කරනවා.

මම හතරෙ පංතිය වෙනකම් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගන්නෙ තංගල්ලෙ ප්‍රාථමික විද්‍යාලයෙන්. එය ඉතා දුෂ්කරතාවලින් අනූන කුඩා පාසලක්. ඊට පස්සෙ පහේ පංතියට මම මහින්ද විද්‍යාලයට ආවා. එතැන් පටන් පාසල් අවසන් පංතිය දක්වාම මම මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. මේ කාලය ඇතුළත මම කවදාවත් පංතියේ පළමුවැනියා වෙලා නැහැ. ඒ කාලේ ඉඳන් මට දැනුන දෙයක් තමයි පංතියේ පළමුවැනියා වෙනවයි කියන එකෙන් ජීවිතයේ අපට පළමු තැන හිමිවෙනවා කියන එක අදහස් වෙන්නෙ නැහැ.

පාසල් කාලයේ අවුරුදු කිහිපයක්ම මම විවාද කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කළා. විද්‍යා සංගමයේ සභාපති විදියටත් දැනුම මිනුම කණ්ඩායමේ සභාපති විදියටත් කටයුතු කළා. මේ හැමදේකින්ම මම මහින්ද විද්‍යාලයට ජයග්‍රහණය ගෙනල්ලා දුන්නා. කිසිම අවස්ථාවක මම විවාදයකට ගිහිල්ලා ඒ විවාදය පැරදිලා ආවේ නැහැ.

මට අද වගේ මතකයි මේ ඕල්කට් ශාලාවේ තමයි තිබුණෙ ඒ කාලේ දකුණු පළාත් දැනුම මිනුම තරගාවලියේ අවසන් තරගය. ඒ තරගයේ අන්තිම ප්‍රශ්නය යොමු වුණේ මට. ඒ ප්‍රශ්නෙට උත්තර නොදුන්නොත් මහින්ද විද්‍යාලය පරාදයි. මම ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නා. මට අදත් මතකයි ප්‍රශ්නෙ. කණාමැදිරියො රෑට එළිය දිදි පත්තුවෙන්නෙ ඇයි කියලා තමයි ඒ ප්‍රශ්නෙන් ඇහුවේ.

ඒක ජීව විද්‍යාවේ අමාරු ප්‍රශ්නයක්. ලුසිතරින් කියලා වර්ගයක් තිබෙනවා මේක එන්සයිමයකින් කැඩුණාම ආලෝකය විදියට පිටවෙනවා. මේ උත්තරය මම පැහැදිළි කළා. මහින්ද විද්‍යාලයට ජයග්‍රහණය ලැබුණා.
මම මේකෙන් අදහස් කරන්නෙ අපේ ජීවිත ප්‍රායෝගික වෙන්න ඕන. අපි පාසලෙන් පිටවෙලා යන්නෙ සමාජයට.

ලංකාව ගත්තම අපට දැඩි ආර්ථික අපහසුතාවයන් ඇතුළු විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ ප්‍රශ්නවලට මුහුණ දීලා ඒ ප්‍රශ්න ජයග්‍රහණය කරන එකයි තමන්ගෙ ජීවිතයට වටින්නෙ.
මේකට කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි තමන්ට තමන් ගැන තරගකාරීත්වයක් තියෙන්න ඕන. ඒ තරගකාරිත්වය තමන්ගෙ පුටුවට එහා පැත්තෙ වාඩිවෙලා ඉන්න ශිෂ්‍යත් එක්ක තිබිලා වැඩක් නැහැ. එහෙම තරගකාරිත්වයන් කෙටි කාලීනයි. ඒකෙන් ජීවිතයට කිසි දෙයක් ලැබෙන්නෙ නැහැ.

ඊළඟට තමන්ට ලොකු සිහිනයක් තියෙන්න ඕන. දැක්මක් තියෙන්න ඕන. කවදාවත් පොඩි සිහින දකින්න එපා. ලොකු සිහින තමයි දකින්න ඕන. එතකොට අර ලොකු දේ පොඩිවෙලා හරි ජීවිතයට ලැබෙනවා.
උදාහරණයට කිවුවොත් අපි මොස්කව් වෛද්‍ය විද්‍යාලයට යන කාලේ දවසක් අපි පයින් යනවා. මාත් එක්ක බංග්ලාදේශ්, සිරියා ඇතුළු වෙනත් රටවල ශිෂ්‍යයො හතරදෙනෙක් විතර හිටියා. ක්‍රිමිලිනය ගාවින් තමයි අපි පයින් යන්නෙ. මම එහෙම යන ගමන් කිවුවා කවදාහරි මේ ක්‍රිමිලින් එක ඇතුළට ගිහිල්ලා මේ රටේ නායකයා හමුවෙන එක තමයි කරන්න ඕන කියලා. ඒ වෙලාවේ සිරියන් යාළුවා මට විහිළු කළා. හෙට අනිද්දා මානසික රෝග පිළිබඳ පාඨමාලාව එනවා. ඔය මොලේ අමාරුවට ඒකෙදි බෙහෙත් ටිකක් ගන්න කිවුවා.

ඒක කියලා අවුරුදු විස්සක් ගිය තැන මම ක්‍රිමිලනයට ගිහින් පූටින් ජනාධිපතිතුමා හමුවුණා. එදා මම අර යාළුවට කෝල් කරලා ඇහුවා අද ටි.වි එකේ මමයි ජනාධිපති පූටින්වයි ඉන්නවා දැක්කද කියලා. එයාට කතා කරගන්න බැරිවුණා. එයා කිවුවා මට ගොඩාක් සතුටුයි. හැබැයි මෙහෙම දෙයක් වෙයි කියලා ජීවිතේටවත් හිතුවේ නැ කිවුවා. ඒ මම කිවුවෙ මම දැකපු සිහිනයක්.

ඒ නිසා මම කියන්නෙ හැමවිටම ලොකු දේවල් ගැන කල්පනා කරන්න. හිතන්න. ඒක තමන් ළඟ ඉන්න කෙනාට කියන්නත් ඕන නැහැ. එහෙත් ඒ වැඩේ කරන්න පුළුවන්. බුද්ධාගම අනුව ගත්තත් හැමදේකටම සිත තමයි මුල් වෙන්නෙ. සිතට අනුව තමන් කරන අධිෂ්ඨානය තමයි යම් දිනක සාර්ථකත්වයට පත්වෙන්නෙ.

අනෙක් කාරණය තමයි තමන්ට තමන් ගැන හොඳ විනයක් තියෙන්න ඕන. ඒ වගේම තමන්ගෙ අනාගතය ගැන යම් කිසි සැළැස්මක් තියෙන්න ඕන. ඒ සැළැස්මට ළගාවෙන්න දවසගානේ මොන මොන දේවල් ද කරන්න ඕන කියලා තමන් කල්පනා කරන්න ඕන. ඒ වගේම ඕනම සැළැස්මකින් පිට වෙන්නෙ කොහොමද කියලා තීරණයක් තියෙන්න ඕන. මේ ශාලාව අරගෙන බලන්න පිටවෙන්න දොරවල් කිහිපයක් තියෙනවා. හේතුව තමයි අපි හැමෝටම වෛද්‍යවරු වෙන්න බැහැ. ඊට පස්සෙ කවදාහරි සමාජයට ගියාම මොකද්ද වෙන්නෙ. අපට කිසි දෙයක් කරගන්න බැරිවෙනවා.

ඒ නිසා මේක හරි නොගියොත් ඊළග එක මොකද්ද කියලා සැළැස්මක් තියෙන්න ඕන. මම වෛද්‍ය උපාධිය සමත්වෙලා ලංකාවට ආවා. ඒ වෙනකොට සෝවියට් සංගමය බිඳවැටෙනවා. මම අම්මට එදා කිවුවම මම ආපහු රුසියාවට යනවා කියලා, කියපු දවසෙ ඉඳන් අම්මා අඩන්න ගත්තා. දැන් මේ දොස්තරකම ඇතෑරලා, යුද්ධ තියන රටකට යනවා කියලා. ඒත් මට ඒ වෙලාවේ පෙනුනා රුසියාව කවදාවත් කඩා වැටෙන්නෙ නැහැ කියලා. අලුත් ක්‍රමයක්, පරිවර්තන යුගයක් එනවා කියලා මම දැක්කා. ඒ යුගයෙදි විදේශිකයන්ට වැඩියෙන් රුසියාව උවමනා වෙන බව මම දැක්කා. ඒක ඒ විධියටම උනා.

මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ අන්තර්ජාතික අංශයේ ප්‍රධානී තනතුර හිස්ව තිබුණා. ඒ තනතුර භාරගන්න කෙනෙක් හිටියෙ නැහැ. ඒකට ඉංග්‍රීසි ටිකක් දැනගන්න ඕන. එතැන හිටිය රුසියානුවන්ට ඉංග්‍රිසි බැරි නිසා මම ඉබේම ඒ තනතුරට තල්ලු උනා. එතන අවුරුදු 10ක් මම සේවය කරනු ලැබුවා.
මට තවත් හීනයක් තිබුණා තානාපති ධුරයට පත්වීම ගැන. මම දවසක් රුසියාවේ දි කිවුවා මගේ රුසියානු ගමන දවසක නතර කරන්නෙ රුසියාවේ ලංකා තානාපතිවෙලා කියලා. මට මතකයි ඒ වෙලාවේ ලංකාවේ කිහිප දෙනෙක් හිනා උනා.

සාමාන්‍යයෙන් ලංකාවේ අය එහෙම කතාවකදි විහිළුකරන්න, නැතිනම් පොඩි විරුද්ධත්වයක් දක්වන්න කටයුතු කරන එක තමයි සංස්කෘතිය. කාට හරි මොනවා හරි විරුද්ධව කරන්න පුළුවන් නම් එකෙන් සතුටක් ලබන එකට තමයි අපේ රටේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නෙ. ඒකයි අපේ රට මේ විධියට තියෙන්නෙ.

සිංගප්පුරුව අරගෙන බලන්න ලීක්වාන් යූ ලංකාවට ඇවිත් කියන්නෙ සිංගප්පූරුව ලංකාවක් කරන්න ඕන කියලා. අද අපි කොහෙද සිංගප්පූරුව කොහෙද? වියට්නාමයේ අගමැතිතුමා ඇවිත් කියන්නෙ අපි වගේ ඔවුන්ගෙ රටේ විදේශ සංචිත වැඩිකරගන්න ඕන කියලා. එදා අපිට ඩොලර් බිලියන 5ක් තිබුණා. අද වියට්නාමයට ඩොලර් බිලියන 102ක්. අපි රටේ තියෙන ඔක්කොම ණය ටික එකතු කරලා සෘණ දෙකක් විතර තිබෙනවා. දැන් යන්තම් අපි ඩොලර් බිලියන 2.5ක් විතර තියාගෙන ඉන්නවා. අපි කවදාවත් අපිට සිද්දවෙච්ච ප්‍රශ්නවලින් ඉගෙන ගන්නෙ නැති ජාතියක්.

ඉංග්‍රීසිකාරයා කන්ද උඩරට ගල විද්දා. තවම එතනින් එහාට යන්නෙ නැහැ. තාමත් කෝච්චිය එතනින් ටිකක් ඉස්සරහට ගිහිං පස්සට එනවා. ඒ දූපත් මානසිකත්වයෙන් මිදෙන්න මට පුළුවන් උනේ මම රුසියාවට ගියපු නිසා. මම එදා වෙන විදියකට හිතන්න ගත්තා. මම රුසියාවට ගියාම හිතුවා රුසියානු භාෂාව ඉතාමත්ම හොඳින් ඉගෙන ගන්න ඕන කියලා. එහෙම නැතිව මට රුසියාවේ මොනවත් කරන්න බැහැ.

රුසියාවේ සියයට අසූවකට ඉංග්‍රීසි කතාකරන්න බැහැ.එතනදි සිංහලෙන් කතා කරලා වැඩක් නෑ නේ. එහෙම නම් මටත් වෙන්නෙ අනිත් අය වගේ වෛද්‍ය උපාධිය අරගෙන ලංකාවට එන්න. මම හැම අවස්ථාවකම රුසියාවේ මිනිස්සු හිතන විධියට හිතන්න කල්පනා කළා. එතකොට වැඩේ ලෙහෙසියි. මෙහේ දූපත් සංකල්පය ගිහිං එහේ පැළ කරන්න බැලුවනම් මොකුත්ම වෙන්නෙ නැහැ. හැමවෙලාවේම මම ඒ අයට අලුත් දේවල් කිවුවා.

මට රුසියාවෙන් ලැබුණු සම්මානයක ලියලත් තියෙනවා. ඒක අන්තර්ජාලයෙන් ගිහිං ඔබට බලන්න පුළුවන්. ඒකෙ තියෙන්නෙ අලුත් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දිමක් ගැන. මොකද්ද මේ අලුත් අධ්‍යාපන ක්‍රමය එදා රුසියානු භාෂාවෙන් තිබුණු අධ්‍යාපන ක්‍රමය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා හඳුන්වා දුන්නා. මුළු ලෝකෙම ඉන්න ශිෂ්‍යයො රුසියාවට එන්න ගත්තා. භාෂාවෙයි ප්‍රශ්නෙ තිබුණෙ. ඒ ප්‍රශ්නය විසඳුණා.

පාසලෙන් ඉවත් වෙනකොට ලංකාවේ සමාජ අසාධාරණයක් සිදුවෙනවා. හරියාකාරව රැකියා නොමැතිවීම ඇතුළු නොයෙකුත් ප්‍රශ්න එනවා. ඒ නිසා අද ඉඳන් තමන් හැමවෙලේම ඉගෙන ගන්න. ඒ වගේම මතක් කරන්න ඕන ශිෂ්‍යත්ව 600ක් මම දුන්නා.

මාසෙකට විතර කලින් දවසක මට පුදුම සතුටක් දැනුණා. එක ළමයෙක් ඇවිල්ලා මේ ශිෂ්‍යත්වය ගත්තා. තාත්තා නෑ. අම්මා විතරයි හිටියේ.අම්මා කඩවල්වලට ඉඳිඅප්පන් හදලා ජීවත්වුනේ.අවුරුදු දෙකක් මේ ශිෂ්‍යත්වය ගත්ත ඒ ළමයා මට ලියුමක් එවලා තිබුණා. ඒකයි මම දන්නෙ. වාණිජ අංශයෙන් ඉගෙන ගෙන එයා විශ්වවිද්‍යාලයට ගියා. විශ්වවිද්‍යාලයේ දි මේ ළඟ ඉස්කෝලෙකින්ම ගෑණු ළමයෙක් යාලුවෙලා බැන්දා. ඊට පස්සේ අවුරුදු 4ක් ගිය තැන විශ්වවිද්‍යාලයෙන් නික්මුණා. කොහොමහරි පෞද්ගලික පන්ති හරි කරලා මේ ළමයා මගේම අනුබද්ධිත ආයතනයකට ඇවිල්ලා එංගලන්තයට යන්න ඉල්ලුවා. මොකද අපි එංගලන්ත විශ්වවිද්‍යාලවලට ලංකාවේ සිසුන්ට අවස්ථාව ලබා දුන්නා. අපි සල්ලි ගන්නෙ නැහැ. එංගලන්ත විශ්වවිද්‍යාලයෙන් තමයි අපට ගෙවන්නෙ.

ඉතිං සල්ලි ගෙවන්න ඕන නැති නිසා මේ ළමයා අපේ ආයතනයට ආවා. හැබැයි මම මේ ආයතනයේ හිමිකරු කියලා ඔහු දැනගෙන සිටියෙ නැහැ. ඉතිං අවසානයේ මේ ළමයටත් ඔහුගේ බිරිඳටත් එංගලන්තයට යන්න වීසා ලැබුණා. මේ ළමයා පාස්පෝට් එක ගන්න මගේ එක ඔෆිස් එකකට ආවම කොහොමහරි මේකේ ප්‍රධානියා මමයි කියලා දැනගත්තා. පස්සෙ මාව හමුවෙන්න පුලුවන්ද කියලා අහලා තිබුණා. එදා ඔහු ඇවිල්ලා මාව හමුවුණා. බලන්න මේ පොඩි මුදලක් අරන් ඉගෙන ගත්ත ළමයා අද එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා.

ඒ මුළු පවුලම කිසිම ප්‍රශ්නයකින් තොරව ඉදිරියට යනවා. ඔහු එදා මට යනකොට කිවුවා එදා මට මේ ශිෂ්‍යත්වය නොලැබුණා නම් ඉස්කොලෙන් අයින් වෙලා ත්‍රීවිල් එකක් ගන්න හිටියෙ කියලා. මගේ අම්මට ඇස්මා තියෙනවා.උදේ පාන්දර 4ට ඉදිඅප්ප හදනකොට අම්මට ඇස්ම වැඩියි කිවුවා. එතැනදි ඒ කතාව අහලා මට ලැබුණු සතුට වෙන එක දේකින්වත් ලැබුණෙ නැහැ.

රුසියාවේ හිටපු ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්නවා පෙරහොප් කියලා. එතුමා කියලා තියෙනවා තමන්ගෙ ජිවිතයේ ආපසු හැරිලා බලනකොට තමන් වෙන මනුස්සයකුට කරපු දෙයින් ප්‍රතිඵලයක් ඇවිල්ලා ඒකට සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි තමන්ට ජිවිතයේ ගන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය කියලා. ඒ නිසා මේ පොඩි ශිෂ්‍යත්වය 600කට දුන්නා. කී දෙනෙක් දොස්තරලා,ඉංජිනේරුවරු. බිහිකරන්න ඇත් ද ? මට විශාල ප්‍රමාණයක් ලියුම් ඇවිල්ලා තිබුණා. මම ඒවා ඔක්කොම කියවලා පුච්චලා දාන්න කිවුවා. ඒවා කිසිම දෙයක් සමාජගත වෙන්න අවශ්‍ය නැහැ.

ඒ නිසා මේ ශිෂ්‍යත්ව ගත්ත ළමයින්ගෙ නම්වත් නැහැ. ඒ ළමයි දැන් ඉන්නෙ වෙනස් තලවල. ඒ නිසා ඒක ප්‍රසිද්ධවීම අවශ්‍ය නැහැ. මේ තොරතුරු දැනගත්තොත් ඒකෙනුත් ෆේස්බුක් එක හරහා ඔය ළමයට පොඩි මඩ පාරක් ගහන්න පුළුවන්. මොකද මේ වගේ ශිෂ්‍යත්වයක් දෙන්න අය නැති උනාට මඩ ගහන්න වියදම් කරන්න ඕන තරම් කට්ටිය මේ රටේ ඉන්නවා.

ඒ නිසා මම මෙතන ඉන්න දරුවන්ගෙන්, ඉල්ලන්නෙ මුදල් නෑ සමාජ තත්ත්වය නෑ ඒ නිසා මේ දේ අපට කරගන්න බෑ කියලා කවදාවත් හිතන්න එපා. මේ ළඟදි මහතීර් මොහමඩ් ගෙ ජීවිත කතාව මම කියෙව්වා. එයා ලියලා තියෙනවා මම සාමාන්‍ය පවුලක ඉපදුණු කෙනෙක්. මාව හැමතැනින්ම කපලා දැම්මා. නමුත් සම්පූර්ණයෙන්ම මලයාසියාව වෙනස් කළ අගමැතිවරයා මහතීර් මොහොමඩ්. ඔහුගෙ ජීවිත කතාව කියවන වෙලාවේ මටත් සතුටක් ආවා. හේතුව මම ඉතාම සාමාන්‍ය පංතියකින් ආපු අයෙක්. අපේ තාත්තා මහින්ද විද්‍යාලයට ඇතුළත් කරන්න එදා විදුහල්පතිතුමාට කියපු වෙලාවේ මහින්දයට ගන්න බෑ කිවුවා නම් අද මම මෙතන නෑ. ඒකයි මම මහින්දයට ආදරය කරන්නෙ. වෙන හේතුවක් නිසා නෙමෙයි. මම අද නැගිටලා ඉන්නෙ මහින්දය නිසා.

ඒ නිසා කවදාවත් හිතන්න එපා කාර් එකෙන් අපට එන්න බෑ කියලා. එදා මම ගිනි කාෂ්ටක අවුවේ මහින්දයට පයින් ආවේ. අම්මා සමහර දවසට සල්ලි දුන්නම ඒකත් මම වියදම් කරන්නෙ නැහැ. ඒක ඉතුරු කරනවා. එහෙම ඇවිල්ලා තමයි වාහනෙන් එන්න ගත්තෙ. එහෙම ඇවිල්ලා තමයි මේ තත්ත්වයට ආවේ. ඒ නිසා අපට මේක කරන්න බැහැ කියලා ශත පහකටවත් හිතන්න එපා. හැමදෙයක්ම කරන්න පුලුවන්. හැබැයි ඒකට තමන්ට පුදුමාකාර ධෛර්යක් තියෙන්න ඕන. ඒ ධෛර්යෙන් තමයි ඔබව ඉදිරියට ගෙනියන්නෙ.

අවසාන වශයෙන් කියන්න තියෙනවා තමන්ගෙ පවුල කවදක්වත් අමතක කරන්න එපා. අම්මා තාත්තා නංගි මල්ලි ඇතුලු තමන්ගෙ සහෝදරයො. ඔබ තැනකට ආවම අනිවාර්යෙන්ම ඒ අයට ඔබ උදව් කරන්න ඕන. එහෙම නොකළොත් ඔබට ජිවිතයේ ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නැහැ. කෘතවේදිත්වය තමයි බුදුදහමේ තියෙන පළමුවැනි දේ. එහෙම නම් ඒක වටහා ගන්න. එහෙම නැතිව මෙතනින් කොහොමහරි ගොඩවෙලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ගෑණු ළමයෙක් යාලු කරගෙන පිටරකට ගිහිල්ලා අර ගෙදර ඉන්න අයව අමතක කරලා කවදක්වත් ඒ ජීවිත සාර්ථක වෙන්නෙ නැහැ. හේතුව ඒ කරන ලද දේ. නැතිනම් කර්මය කියන්නෙත් ඒ වගේ දෙයක්. අනිවාර්යයෙන්ම සියයට හැටක් විතර තමන්ගෙ පසුපස එනවා. ඉතිරි ටික තමයි වෙන ආත්ම ගැන කතා කරන කොට තියෙන්නෙ.

මේ පාසලට විතරක් නෙමෙයි හබරාදුව ඉස්කෝලෙට වතුර දුන්නා අවුරුදු දෙකකට කලින්. ඒකෙ ළමයිට වතුර තිබුනෙ නැහැ. ජල නල පහසුකම් වගේම කොම්පියුටර් දුන්නා. අක්කරෙයිපත්තුවේ ළමයිට සපත්තු දෙනකොට ඒ ළමයි සපත්තු දාන්න දන්නෙ නැහැ. සපත්තු දාන්න ඉගැන්නුවා. මෙහෙම කරන්න හේතුව වෙන කිසි දෙයක් නිසා නෙමෙයි මේ අධ්‍යාපනය නිසා තමයි මම මෙතනට ආවේ.

කවුරුහරි දේශපාලඥයෙක්වත්, එහෙම නැත්නම් නැයෙක්වත්, ලංකාවේ හැටියට සල්ලි ගොඩාක් දීලා මැරුණු සීයා කෙනෙක්වත් නෑ, එක දවසක් මම ගැන රුසියානුවෙක් එරට විදේශ ඇමති ලැව්රොව් ට කිවුවාම ලැව්රොව් කිවුවලා හී ඉස් සෙල්ෆ් මේඩ් මෑන් කියලා. ඒ කියන්නෙ මා ගැන රුසියානුවොත් දන්නවා. ඔවුන්ට මා ගැන විශාල ගෞරවයක් තියෙනවා. රුසියාවේ මා සාර්ථක වෙන්න හේතුව ඔවුන් කියපු හැම දෙයක්ම රුසියාව වෙනුවෙන් මම ඉටු කළා.

අනෙක් අතට රුසියාව ලංකාව එකතු කරලා මම නිහඬව අති විශාල සේවයක් කළා. උදාහරණයක් විදියට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට විරුද්ධව කටයුතු කරනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දන්නවා මම මොනවගේ දෙයක් කළාද කියලා. ඒ යෝජනාවට විරුද්ධව එදා රුසියාව නිශේධ බලය පාවිච්චි කළා. එක මම දැනගෙන හිටියා.

දැන් බලාගෙන යනකොට ඔක්කොම රුසියාව. රුසියාවේ නැති කෙනෙක් නැහැ. දැන් ඡන්දෙත් ළඟයි ඒ නිසා ඔක්කොම දේශපාලඥයො රුසියාව දිහා බදාගෙන ඉන්නෙ. මොකද මිනිස්සු අතර සමාජයේ ආදරයක් තියෙනවා රුසියාවට. එහෙත් මම සහ රුසියාව අතර සම්බන්ධය එන්නෙ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුණු කාලයේ ඉඳලා. මෙතන ඉන්න කෙනෙක් කවදාහරි තානාපතිවෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් රාජතාන්ත්‍රික නිලධාරියෙක් වෙන්න පුළුවන්. එතකොටත් ඒ රටත් මේ රටත් එකතු කරන්න කටයුතු කරන්න ඕන. තමන්ගෙ රට,ආගම, පාසල වෙනුවෙන් ඒ වගේම තමන්ගෙ සහෝදරයා, යාලුවා වෙනුවෙන් පුළුවන් දේ හැමවිටම කරන්න. අනිවාර්යෙන්ම අනිත් පැත්තට එ්ක පෙරලා ලැබෙනවා.

වෛද්‍ය සමන් විරසිංහ පදනමේ සියලුම ලියකියවිලි තියෙන්නෙ පාර්ලිමේන්තුවේ සභානායකතුමා ළඟ. මම හිතනවා මේ වසර අවසන් වනවිට ඊට අවශ්‍ය අනුමැතිය ලැබෙනවා. දැනට මේක ක්‍රියාත්මක වන්නෙ මගේ පෞද්ගලික වියදමෙන්. මේක සම්මත උනාම ජනවාරි -පෙබරවාරි වෙනකොට මහින්ද විද්‍යාලයත් එකතු කරලා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතැනදි ආදි ශිෂ්‍ය සංගමයත් ආදි ශිෂ්‍ය නායක සංගමයත් ඊට එකතු කරගන්නවා. එවිට අන්තජ්ජාතික වශයෙන් පොත පත ගෙනල්ලා දීලා තවත් අවශ්‍යතා සිසුන් වෙනුවෙන් අපට සාමුහිකව එකතුවෙලා කරන්න පුළුවන්.

මෙම ශිෂ්‍යත්ව 600 තව අවුරුදු 4ක් ඇතුළත 1000ක් දක්වා වර්ධනය කරගන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට අනිවාර්යෙන්ම අපි මහින්ද විද්‍යාලයේ ඉතිහාසයට යනවා යැයි හෙතම කියා සිටියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *