එයාර් බස් ගණුදෙනුවේ අල්ලස බෙදා ගත් හැටි අධිකරණයේදී හෙළිවෙයි .

එයාර්බස් ගණුදෙනුවෙන් ලද අල්ලස් මුදලින් රුපියල් මිලියන 60 ක මුදලක් එවකට ජනපති ධූරයේ කටයුතු කළ මහින්ද රාපක්ෂ වෙත ලබාදුන් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කොට ඇත .

අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දැක්වු අවස්තාවේ මේ බව සඳහන් කරනු ලැබීය .

ඊට අමතරව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නටද රුපියල් මිලියන විස්සක් ලබා දී ඇතැයි ඔහු පැවසූ බව අල්ලස කොමිසම අධිකරණය හමුවේ පැවසීය .

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ශ්‍රි ලංකන් එයාර් හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන අප්‍රේල් 02 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .

එහිදී සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඉදිරිපත් වූ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න ප්‍රකාශ කර සිටියේ, ප්‍රකාශය ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ්‍ය ජනරාල් රංග දිසානායක විසින් තම සේවාදායකයා වෙනත් කාමරයකට කැඳවා ඔහුට තර්ජනය කර ඇති බවයි.

වෙනත් නඩුවක සාක්ෂිකරුවෙකු සියදිවි හානි කරගත් බවත්, කපිල චන්ද්‍රසේනටද එම ඉරණමම ඇත්වෙනු ඇති බවත් තම සේවාදායකයාට තර්ජනය කර ඇතිබව ඔහු පැවසීය .

අල්ලස් කොමිසම එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ලදි .