එඬේරමුල්ල දුම්රිය අනතුරින් මියගිය තුෂාරගේ වියෝව දරාගත නොහැකිව බිරියත් මියගිහින්

පසුගිය දා එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ මාරක දුම්රිය අනතුරින් මියගිය ලියනගේ කැළුම් තුෂාර සිල්වා මහතාගේ බිරිය සිය සැමියාගේ හදිසි වියෝවෙන් ඇති වූ බරපතළ කම්පනය හේතුවෙන් හදිසියේම ඇති වූ හෘදයාබාධයකින් මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ලියන මොහොට්ටිගේ රසෝමා හසන්ති කබ්රාල් මහත්මියයි.

කැළුම් තුෂාර සිල්වා මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමට ද පෙර එනම් 10 වැනිදා දහවල් එකොළහට පමණ ඇය පපුව රිදෙන බව පවසා ඇති අතර ඒ අනුව පවුලේ ඥාතීන් ඇයව කඩිනමින් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එහි දී ඇය ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

10 වැනිදා මධ්‍යම රාත්‍රි රසෝමා මහත්මියගේ දේහය කැලණියේ, පමුණුවිල නිවසට රැගෙන විත් ඇති අතර ඊයේ රසෝමාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පමුණුවල පොදු සුසාන භූමියේ දී සිදුකර තිබෙනවා.

දුම්රිය අනතුරින් මියගිය කැළුම් තුෂාර මහතා සහ මියගිය රසෝමා මහත්මිය දරුවන් දෙදෙනකුගේ මවුපියන්.

“මේ දෙන්නා ඉදිකටුවයි, නුලයි වගේ ඉතාම සමඟිව ජීවත් වුණා. නංගී කිසිම තැනක තනියම යන්නෙ නෑ. මහත්තයා නැති වුණ බව දැනගත් වෙලේ පටන් එයා පුදුම දුකකින් හිටියේ. මේ ඒ දෙන්නා පතාගෙන ආපු විදිහ. තුෂාරගේ මළසිරුර ළඟ ඉඳන් එයා කිව්වේ මමත් එනවා ඔයා එක්ක යන්න කියලා. ඉතින් එයත් යන්න ගියා යැයි රසෝමා මහත්මියගේ වැඩිමහල් සහෝදරිය පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!