ඉතිහාසයේ මුල් වරට LPL වෙන්දේසිය සජීවීව නරඹන්නේ මෙහෙමයි

හෙට (21) පැවැත්වෙන LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සජීවීව නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රීඩක වෙන්දේසියක් මෙලෙස සජීවීව නැරඹීමට අවස්ථාව ලබා දීම සුවිශේෂීයි. එමෙන්ම ලෝකයේ දෙවන වතාවටයි මෙවැනි ක්‍රීඩක වෙන්දේසියක් සජීවීව නැරඹීමට අවස්ථාව ලබා දී ඇත්තේ.

ඒ අනුව ප්‍රමුඛතම රූපවාහිනී නාලිකාවක් වන “ස්‍ටාර් ස්පෝර්ට්” නාලිකාව ඔස්සේ ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන්ට LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සජීවීව නැරඹීමට අවස්ථාව හිමි වෙනවා.

2024 LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කොළඹ ෂැංගිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවත් එම වෙන්දේසිය සිදුකිරීම සඳහා චාරු ශර්මා ඉන්දියාවේ, බැංගලෝර්වල සිට අද උදෑසන දිවයිනට පැමිණි බවත් LPL තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවල මහතා සඳහන් කළා.

මෙවර LPL තරගාවලිය සදහා විදේශීය ක්‍රීඩකයන් 600කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටින බව වාර්තා වෙනවා.

සමන්ත දොඩංවල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ ඉහළ තරගකාරීත්වයක් සහිත ක්‍රීඩක වෙන්දේසියක් මෙවර දැකගන්නට ලැබෙනු ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!