ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට කෘෂිකර්මාන්තය විශාල මෙහෙයක් කළා.

කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස පැවසූවේ කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අමතමිනි.

ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට කඩිනමින් යළි නඟා සිටුවිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබෙන බවද සඳහන් කළේය.

ආසියා – පැසිෆික් කලාපවල මුළු ජනගහනයෙන් 70%ක් පමණ යපෙනුයේ කෘෂිකර්මාන්තය මතය. මෙවර සමුළුවේ දී කළාපයේ රටවල පෝෂ්‍යදායි ආහාර නිෂ්පාදනය, ආහාර පරිභෝජන සුරක්ෂිතතාව, ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, පාරිසරික සුරක්ෂිතතාව පවත්වා ගැනීම, හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම, දේශගුණික විපර්යාසවල අවදානම පාලනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අවධානය යොමු කෙරේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා ද එම අවස්ථාවට සහභාගී විය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල් 46 අතුරින් එක්සත් ජනපදය, චීනය සහ රුසියාව ඇතුළු රටවල් 34ක රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහ නියෝජිතයන්ගේ මෙම සමුළුවට සහභාගී වේ. 2026 වසර දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ඇත.

ශ්‍රී ලංකාව 1955 වර්ෂයේ පැවති 2 වැනි සමුළුව සඳහා සත්කාරකත්වය දක්වා ඇති අතර මෙවර ශ්‍රී ලංකාව මෙම සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ වසර 69කට පසුව වීම විශේෂත්වයකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!