ආරක්ෂක රාජ්‍ය ඇමතිගේ ”බලු බොරුව” එළිවෙයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී ඊයේ මෙරට අයාලේ යන සුනඛ ගහනය ලක්ෂ 62 ක් බවට කළ ප්‍රකාශය හේතුවෙන් මෙරට සුනඛයන්ගේ ජීවිත තර්ජනයකට ලක්ව ඇතිබව පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ උපදේශක ආචාර්ය චමිත් නානායක්කාර පවසයි .

දිවයිනේ විවිධ ප්‍රදේශවල අයාලේ යන සුනඛයන් ලක්ෂ 62ක් පමණ සැරිසරන බවත්, මේ තත්ත්වය සීගිරිය වැනි සංචාරක ප්‍රදේශවලට බරපතළ ගැටලු ඇති කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය. එහෙත් අචාර්ය නානායකකාර පවසනුයේ ඇමතිවරයාගේ ප්‍රකාශය කරුණු නොදැන කල සාවධ්‍ය ප්‍රකශයක් බවයි .

” 2007 වන විට මෙරට සුනඛයින් මිලියන තුනක් පමණ සිටියා. පසුව රජය මගින් මෙන්ම සත්ව සුබසාධන සංගම් මගින් සුනඛ ගහනය පාලනය කිරීමේ වන්ධ්‍යාකරණ සැත්කම් වැඩසටහන් ක්‍රියාත්මක කළා. එම වැඩසටහන් හේතුවෙන් දැනට මෙරට සිටින සුනඛ ගහනය ලක්ෂ 21 කටත් වඩා අඩුයි. මේ අතරින් 3% ක් පමණ අයාලේ යන සුනඛයන් විය හැකියි ” ඔහු පැවසීය .

නිදහසේ සිටිනා සෑම බල්ලෙක්ම අයාලේ යන සුනඛයන් නොවනා බවත්, ඔවුනට හිමිකරුවන් සිටිනා බවත් පැවසූ ඔහු පොදු ස්ථාන වල සිටිනා සුනඛයන් සලකණු ලබන්නේ ප්‍රජා සුනඛයන් ලෙස බවත් පැවසීය .

සීගිරිය වැනි සංචාරක ප්‍රදේශවල විශාල බලු ගහනය බරපතළ ප්‍රශ්න ඇති කරන බව අමාත්‍යවරයා පැවසූවද, සීගිරියේ පසුගිය වසර හයක කාලය තුළ ක්‍රමානුකූලව සුනඛ ගහනය පාලනය කර එන්නත් ලබාදුන් ස්ථානයක් බව වෛද්‍ය නානායකකාර පැවසීය .

සුනඛ ගහනය පාලනය කිරීමට සහ වඳ සැත්කම් වැඩසටහන් කරගෙන යාමට රුපියල් මිලියන 200ක් වෙන් කර ඇතිමුත් වඳ සැත්කම් වැඩසටහන් කරගෙන යාමට අවශ්‍ය උපකරණ සඳහා මේ වසරේ දිස්ත්‍රික්කවලට මුදල් ලැබී නැතිබව පශු වෛද්‍යවරු පවසති