අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන් සිය කර්මාන්තය නගා සිටුවීම සඳහා ණය සහ ණය ගෙවීමේ සහන ඉල්ලුම් කරීමේදී දැඩි අවබෝධයෙන් කටයුතු කළ යුතු යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
මුදල් ලබා ගැනීම තුළින් පමණක් කර්මාන්තය නගා සිටුවීමට හැකිය යන ආකල්පයේ පසුවීම මගින් ව්‍යවසායකයන්ට විවිධ ගැටළු මතුවිය හැකි බැවින් මුදල් නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීම මෙවැනි අවස්ථාවක ඉතා වැදගත් වන බව ඔහු පෙන්වා දුන්නේය.
සිදුව ඇති හානිය මුදලින් තක්සේරු කළ හැකි නමුත් කර්මාන්ත ගොඩ නැගීමේදී මුදල් පමණක් ප්‍රමාණවත් නොවන බැවින් මානව සම්පත, කුසලතා සහ නව ව්‍යාපාරික අවස්ථා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වන බව මහබැංකු අධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය මගින් සංවිධානය කරන ලද ආපදාවෙන් පීඩාවට පත් ව්‍යවසායකයන් යළි නගා සිටුවීම සඳහා වන වැඩමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් මධ්‍යම පළාතේ කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා වීරියෙන් යළි නැගිටිමු යන මැයෙන් කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ අධිපති තුසිත විජේසේනගේ සංකල්පයක් මත එම ආයතනයේදී අද (20) මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන්ට මුදල් පමණක් ලබාදීම තුළින් කර්මාන්තය ගොඩනැගීමට නොහැකි බවත්, ආපදාවෙන් හානියට පත් සිය කර්මාන්ත සඳහා ඉදිරියේදී වැදගත් වන්නේ කුමන උපකාරයන් ද යන්න පිළිබඳව බැංකුවලින් උපදෙස් ලබා ගන්නා ලෙසත් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය .
ණය ලබා ගැනීම පමණක් නොව ව්‍යාපාර අවස්ථා, උපදෙස්, දැනුවත් කිරීම් සහ ව්‍යාපාර රක්ෂණ අවස්ථා ආදියෙන්ද බැංකු හා මූල්‍ය ආයතන සමන්විත යැයි ද හෙතෙම කීවේය.
නාය යම් හා පස් කඳු පෙරළීමෙන් විනාශ වූ නිවාස පිරිසිදු කිරීම සඳහා රජය ලබාදෙන රුපියල් 25000 මුදල යළි රජයට ලබා දුන් පිරිස් රැසක් සිටින බව කී මහ බැංකු අධිපතිවරයා මුදල් ලබාදීම තුළින් පමණක් මෙම ව්‍යසනයෙන් ගොඩනැගීමට නොහැකි බව පෙන්වා දුන්නේය . ශ්‍රී ලංකාවට නව අත්දැකීමක් වූ නමුත් බොහෝ රටවලට මෙවැනි ව්‍යසනයන් නිරන්තරයෙන් අත්දැකීමක් වී ඇති බව ඔහු එහිදී පැවසීය .
හානියට පත් කර්මාන්ත යළි ගොඩ ගැනීම සඳහා සියයට තුනේ පොළියට ණය ලබාදීම සහ ණය සහන, පොළී රහිත ණය මාස 03 ක සහන කාලයක්, සියයට 09 පොළියට ණය ආදී වශයෙන් සහන රැසක් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් රජය ලබාදී ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ලංකා බැංකු මහ කළමනාකරු වයි. ඒ. ජයතිලක, කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග, යන මහත්තුරු ඇතුළු වාණිජ බැංකුවල විධායක නිලධාරීන්ද, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්යක්ෂ උදාර කොන්සිවක්ත, කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මාධව ජයසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවේදී අදහස් දැක්වූහ .
නදීක දයා බණ්ඩාර – මහනුවර සිට.