අවුරුදු 16 කට පසු ලංකාවට පැමිණි ලංකා ඊ නිවුස් කර්තෘ අත් අඩංගුවට .

වසර 16 කට අධික කාලයක් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා සිටි ලංකා ඊ නිව්ස් (Lanka e News) වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර අද (11) දහවල් දිවයිනට පැමිණි තිබේ . ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේම පොලිසිය විසින් අත්අඩංගුවට පත්ව ඇත .

අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ඔහු සැකකරුවෙකු ලෙස නම් කර තිබීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවත්, මේ වන විට ඔහුව කටුනායක පොලිස් ස්ථානයේ රඳවාගෙන ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනා බවත් වාර්තා වෙයි .

2010 වසරේදී තම ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සේවය කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූ අතර ඉන් අනතුරුව ලංකා ඊ නිව්ස් ආයතනයට එල්ල වූ ප්‍රහාරයක් එල්ල විය . මෙම තත්ත්වය යටතේ සඳරුවන් සේනාධීර ජීවිත අරක්ෂාව උදෙසා රටින් පලාගොස් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතනා ලදි .
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීරට 2017 වසරේ ජනවාරි මස 19 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසිද නිකුත් කර තිබුණා.

ඒ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පළ කළ ඇතැම් පුවත් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් නීතීඥවරයෙකු වන මධුර විතානගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදීයි.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මගින් අවස්ථා 14කදී අධිකරණයට අපහාස වන අන්දමේ පුවත් පළකර ඇති බවත්, එම වෙබ් අඩවියෙන් සිදු කරන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශනයක් කර සුදුසු දඬුවම් ලබා දෙන ලෙසත් එම පැමිණිල්ලේ සඳහන් වී තිබිනි .